කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බවත් ඊට අමතර බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද සහ කළුගඟ යන ජලාශවලද ජල මට්ටම ද උපරිමයට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් අද (18) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම ජලාශවලට අයත් පෝෂිත ප්‍රදේශවලට ඇතිවන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව එම ජලාශ ද වාන් දැමිය හැකි බවට අනතුරු අඟවන මහවැලි අධිකාරිය මාදුරුඔය ජලාශය ද උපරිම ජල මට්ටමේ පවතින බැවින් ඉදිරියේ දී වාන් දැමීම සිදුවිය හැකි බව ද පවසයි.
මෙම නිවේදනය සම්බන්ධනේ මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මහවැලි අධිකාරියේ, ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ, අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මෙසේ පැවසුවේය. “ජනතාවට අපි කියනවා විමසිලිමත්ව හා අවදානයෙන් ඉන්න කියලා. ඒ වගේ ම මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා කොච්චර ඩිසාස්ටර් එකක් වුණත් ස්පිල් වුණා ම බලන්න යනවා, මාළු අල්ලන්න ගලාගෙන යන සැඩ පහරට පනිනවා. අන්න ඒ දේවල්වලින් වළකින්න කියලා තමයි ඉල්ලන්නේ.”
ජලාශවල වාන් දොරටු විවෘත කරන විට ඒ පිළිබඳව පහත් බිම්වල ජනතාව දැනුවත් කිරීම, අදාළ ජලාශවල කාර්යභාර ඉංජිනේරු විසින් ආපදා කළමණාකාර දෙපාර්තමේන්තුව වෙත, පොලිස් ස්ථාන වෙත සහ දැනුවත් කළ යුතු අනෙකුත් ආයතන වෙත දැනුම් දී ඇති බව ද ධර්මදාස මහතා සඳහන් කළේය.












