
මෙතෙක් විශේෂ බලයක්, තනතුරක් දරන අයට පමණක් ප්රතිලාභ ලබා ගැනීමට පහසුවක් ව තිබූ, සාමාන්‍ය ජනතාවට ළංවීමට දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියක්ව තිබූ ජනාධිපති අරමුදල මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ හා තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අයදුම් කිරීමට හැකි සරල ක්‍රමවේදයකට ගෙන ඒමට වත්මන් රජය සමත්ව තිබෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ නව වෙනි අදියර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අරලියගහ මන්දිරයේදී පැවැත් විණි.
මෙම අදියරට අදාළ ව 2023 සහ 2024 වර්ෂයන්හි අ.පො.ස උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලැබූ බස්නාහිර පළාත් සිසුහු ඇගැයීමට ලක් කෙරුණු අතර ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ටයෝ 361 දෙනෙකු ඇගයීමට ලක් කරමින් ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියන 36.1ක ශිෂ්‍යත්ව පිරිනමනු ලැබිණි.
උත්සව අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවාය. “මෙතෙක් විශේෂ බලයක්, තනතුරක් දරන අයට පමණක් ප්රතිලාභ ලබා ගැනීමට පහසුවක් ව තිබූ, සාමාන්‍ය ජනතාවට ළංවීමට දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියක්ව තිබූ ජනාධිපති අරමුදල මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ හා තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අයදුම් කිරීමට හැකි සරල ක්‍රමවේදයකට ගෙන ඒමට අප රජය සමත්ව තිබෙනවා.
මේ සියලු වැඩසටහන් අපි සිදු කරන්නේ අපේ මානව සම්පත වර්තමාන ලෝකයට ගැළපෙන අයුරින් දියුණු කර ගෙන ඉදිරි ගමනක් යන්න. වර්තමාන ලෝකයේ තියෙන සංකීර්ණත්වය තේරුම් ගෙන ගමන් කළ හැකි මානව සම්පතතක් බිහි කරන්න රජයක් විදිහට අපි කටයුතු කරනවා.ඒ සඳහා තමයි 2026 වසරේ සිට අපි අධ්‍යාපන ක්රමයේ පරිවර්තනයක් ඇති කරන්න විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ. අපේ අරමුණ ඵලදායි හොඳ පුරවැසියෙක් බිහි කරන එක.
අපට අවශ්‍ය වන්නේ පරිසරයට ආදරය කරන, පරිසරය ආරක්ෂා කරන්න ඉදිරිපත් වන, නායකත්වයක් ඇති, සහකම්පනයෙන් සහ සාමූහිකත්වය පිළිබඳ හැඟීමක් ඇති ප්රජාතන්ත්රවාදය අගය කරන වගකීම් සහගත මානව සම්පතක් බිහි කරන එක.
සෑම රජයක්ම ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වෙලා තියෙන්නේ මේ රටේ සියලුම ජනතාවගේ බදු මුදල්වලින්. ඒ සමාජය වෙනුවෙන් මෙහෙවරක් කරන්න පුළුවන්, නායකත්වය දෙන්න පුළුවන් දක්ෂයින් පිරිසක් නිසා තමයි ඔබ අපට විශේෂයෙන්ම වටින්නේ.
අද දින මේ සිදු කරන ඇගයීම අපි ඔබට කරන ආයෝජනයක්. රාජ්‍ය මැදිහත්වීමකින් අධ්‍යාපනය ලබන සහ රාජ්‍ය මැදිහත්වීමකින් ඇගයීමට ලක් වන ඔබට සමාජය වෙනුවෙන් වගකීමක් තියෙනවා” යැයි පැවසුවා ය.
ජනාධිපති අරමුලද පාලන මණ්ඩලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇගයීමට ලක් වූ සිසුන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන් මෙම උත්සවයට සහභාගී වූහ.
















