REDUILD INDUSTRIES: කර්මාන්ත සහ ව්‍යවසායකයින් යළි නඟාසිටුවන වැඩපිළිවෙළ කුමක් ද ?

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳුනාරටිය වන්නේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ය. පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ දැඩිව පීඩාවට පත්ව සිටි ඔවුන් යළි හිස එසවීමට පියවර ගත්තා පමණි. දිට්වා සුළි කුණාටුව ඔවුන් වෙත නොසිතූ විරූ විනාශයක් රැගෙන ආවේය.

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන අතිරේක ලේකම් අනෝජා හේරත් මහත්මිය ප්‍රකාශ කළේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කර්මාන්ත අංශයට සිදු වූ අලාභය, හානිය මේ වන විට ගණනය කරමින් සිටින බවයි. එකවර නිල දත්ත ඉදිරිපත් කිරීමක් කළ නොහැකි බව පෙන්වා දුන් ඇය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ සහ විශාල වශයෙන් වර්ග කර ඇති කර්මාන්තවලට සිදු වී ඇති විනාශය එකිනෙකට වෙනස් බව පෙන්වා දුන්නාය. ඒ අනුව සිදුව ඇති හානිය ගණනය කිරීමට සහ හානියට පත් වූ ව්‍යවසායකයින් හා කර්මාන්තකරුවන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති බව ද අනෝජා හේරත් මහත්මිය පැවසුවාය.

මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, අපනයන සංවර්ධන මණ්ඩලය, කුඩා ව්‍යාපාර අංශය, ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යන ආයතනවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාවලට අනුයුක්ත කර ඇති නිලධාරීන් සහභාගී කර ගන්නා බව ඇය පැවසුවාය. මෙම නිලධාරීන් විපතට පත් ව්‍යවසායකයින් වෙත යමින් අදාළ තොරතුරු රැස් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සහන ලබා දෙමින් අදාළ ව්‍යවසායකයින් සමඟ සමීපව කටයුතු කරන බව ඇය කීවාය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත දෙසැම්බර් 11 වැනි දින පෙ.ව 07.30 වන විට දිට්වා සුළ කුණාටුවේ බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ගෙන් විමසීම් ( Inquiries) 9087ක් ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ පවසයි.

  • අර්ධ හානි සිදු වූ කර්මාන්තකරුවන්ගෙන් විමසීම් 4927ක්, සම්පූර්ණ හානි සම්බන්ධ විමසීම් 1873ක්, සුළු බලපෑම සම්බන්ධ විමසීම් 1782ක් සහ වෙනත් විමසීම් 505ක් මේ අනුව ලැබී ඇත.
  • කර්මාන්තයේ ස්වභාවය (Industry Scal) අනුව ගත් විට සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් විමසීම් 3091ක්, මධ්‍යම 1951ක්, විශාල 325ක් සහ ක්ෂුද්‍ර කර්මාන්තකරුවන්ගෙන් විමසීම් 3720ක් ලැබී ඇත.
  • වැඩිම විමසීම් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය 1756ක් වන අතර (19%) පුත්තලම දිස්ත්‍රික්කයෙන් විමසීම් 1216ක්, කොළඹ 878ක්, මහ නුවර 906ක්, කුරුණෑගල 770ක්, කෑගල්ල 702ක්, ත්‍රිකුණාමලය 471ක්, අනුරාධපුරය 353ක්, බදුල්ල 360ක්, ආදි වශයෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

සුළි කුණාටුවෙන් අවම බලපෑමක් සිදු වූ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 01, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 09ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 13ක් ද ඉල්ලීම් ලැබී ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

  • අන්තර් ආයතන සම්බන්ධීකරණය

හානියට පත් කර්මාන්තවල ජල සහ විදුලි සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීමට අදාළ රාජ්‍ය රාජ්‍ය ආයතන විසින් පියවර ගෙන ඇති බව කී අනෝජා හේරත් මහත්මිය හානියට පත් මහා පරිමාණ කර්මාන්ශාලා යළි ප්‍රතිසංස්කරණයට සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි පැවසුවාය.

මේ අතර කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීන් බිම් මට්ටමේ සෙසු නිලධාරීන් (ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු) සමඟ මනා සම්බන්ධීකරණයකින් කටයුතු කරන බවත් බිම් මට්ටමේ කටයුතු වෙනුවෙන් මේ ත්ත්වය තුළ ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් සිටින බවත් ඇය කීවාය.

  • තොරතුරු දෙන්න ක්‍රම

සුළි කුණාටුවෙන් විපතට පත් කර්මාන්තකරුවන්ට සිය තොරතුරු කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති ක්ෂණික දුරකථන ඇමතුම් අංකය (Hot Line) වන 0712 666 660 ඔස්සේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යා මට්ටමින් ලබා දෙන ආකෘති පත්‍රයක් හරහා ලබා ගනිමින් සිටින බව ද අනෝජා හේරත් මහත්මිය පැවසුවාය.

මේ ආකාරයෙන් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බිඳ වැටුණු කර්මාන්ත නැවත පණ ගැන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් REDUILD INDUSTRIES නමින් වැඩපිළිවෙළක් ආරම්භ කළ අතර හානියට පත් ව්‍යාපාරවල තොරුතුරු දෙසැම්බර් 16 වැනිදාට පෙර ලබා දෙන ලෙස කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලීමක් ද කළේය.

  • REDUILD INDUSTRIES

මේ ආකාරයෙන් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බිඳ වැටුණු කර්මාන්ත නැවත පණ ගැන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් REDUILD INDUSTRIES නමින් වැඩපිළිවෙළක් ආරම්භ කළ අතර හානියට පත් ව්‍යාපාරවල තොරුතුරු දෙසැම්බර් 16 වැනිදාට පෙර ලබා දෙන ලෙස කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලීමක් ද කළේය.

අදාළ තොරතුරු ඇතුළත් කිරීම www.industry.gov.lk හරහා කළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ලබා ගත හැකි බව ද කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කළේය.

  • රජයෙන් ලක්ෂ දෙකක්

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මේ ආකාරයෙන් ආපදාවෙන් පීඩාවට පත් කර්මාන්තකරුවන්ගේ සහ ව්‍යවසායකයින්ගේ තොරතුරු රැස් කරමින් සිටින අතර තුර තවත් වැදගත් පියවරක් ද ක්‍රියාත්මක කළේය. ඒ දිට්වා බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට කර්මාන්ත යථාතත්ත්වයට පත් කිරීම සඳහා රජයෙන් ලක්ෂ දෙකක් ලබාදීමට ගත් තීන්දුවයි.

පසුගිය 08 වැනිදා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, තිලකා ජයසුන්දර මහත්මියගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ “ දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්ත හිමිකරුවන් වෙත කර්මාන්ත යථා තත්ත්වයට පත් කිරීමට දීමනා ලබාදීමට රජය තීරණය කර ඇති බවයි”.

ආපදාවෙන් බලපෑමට ලක්ව ඇණහිට ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවන දීමනාවක් ලෙස, ඒකකයක් වෙනුවෙන් රුපියල් 200,000ක් ගෙවීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන් විය.

මෙහිදී ‘තීරණාත්මක කොන්දේසියක්’ පැනවීමට ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේය. එම කොන්දේසිය අදාළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් විය, “මේ අනුව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මඟින්, අමාත්‍යාංශයේ ලියාපදිංචි කර්මාන්ත සහ මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ව්‍යවසායකත්වය සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED), ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS), ජාතික ශිල්ප සභාව (NCC) යන ආයතන වල ලියාපදිංචි වී ඇති ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන්ට මෙම දීමනාව ලබාදීම සඳහා කඩිනමින් කටයුතු සම්පාදනය කරනු ලබන බව” අදාළ නිවේදනයේ සඳහන් විය.

මේ අතර දෙසැම්බර් 08 වැනි දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට සිදුවූ බලපෑම අනුව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවයි.

  • අපනයන සංවර්ධන මණ්ඩලය

දිට්වා සුළි කුණාටුවෙන් අපනයන කර්මාන්ත 285ක් හානියට පත් වූ බව කර්මාන්ත අමාත්‍යාංශය දෙසැම්බර් 08 වැනිදා නිවේදනය කළ අතර අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ මේ වන විට අදාළ තොරුතුරු රැස් කරමින් තිබෙන බවයි.

මේ අතර දෙසැම්බර් 08 වැනි දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට සිදුවූ බලපෑම අනුව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවයි.

ඒ සඳහා වන සාකච්ඡාවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ පරිශ්‍රයේදී පැවැත් වුණ අතර ඒ සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, ඇතුළු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අපනයනකරුවන් සහභාගී වූ බව ද අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කළේය.

අයහපත් කාලගුණික තත්ත්වයෙන් වඩාත්ම බලපෑමට ලක් වූ අපනයනකරුවන්ගේ සවිස්තරාත්මක හානි තක්සේරු කිරීම් අපනයන සංවර්ධන මණ්ඩලය දැනටමත් ආරම්භ කර ඇති අතර මෙම තක්සේරු කිරීම් අපනයන අංශයට අවශ්‍ය ඉලක්කගත සහන මැදිහත්වීම් සඳහා මඟ පෙන්වනු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේය.

අපනයන අංශය මුහුණ දෙන ක්ෂණික අභියෝග විසඳීම සඳහා උපායමාර්ගික මැදිහත්වීම් ක්‍රියාත්මකව සිදු කරමින් පවතින බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් මංගල විජේසිංහ මහතා පැවසුවේ, “මෙම ක්‍රියාමාර්ග අපනයන මෙහෙයුම්වලට සිදුවන බාධා අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ජාත්‍යන්තර වෙළඳපොළට භාණ්ඩ හා සේවා අඛණ්ඩව ලබා දීම සහතික කරනවා. තවද, නිෂ්පාදන ධාරිතාවට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීමට සහ අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීමේ හැකියාව ආරක්ෂා කිරීමට උත්සාහා දරනවා. කාර්යක්ෂම නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියක් සඳහා  බාධාවකින් තොරව කටයුතු කිරීමත් බිඳ වැටුණු සැපයුම් දාම නැවත සක්‍රිය කිරීමත් ප්‍රමුඛතාවයක්. මෙම ඉලක්කගත ක්‍රියාමාර්ග හරහා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයන වර්ධනය තිරසාර කිරීමට සහ කෙටිකාලීන බාධකවලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට අපේක්ෂා කරනවා”

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ යටිතල පහසුකම් ප්‍රමාදයන් කළමනාකරණය කිරීමට සහ අපනයන සම්බන්ධ නිෂ්කාශන ක්‍රියාවලිය වේගවත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය මේ වන විට රේගු, වරාය බලධාරීන් සහ සැපයුම් දාම සේවා සපයන්නන් සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) මෙහෙයුම් ශක්තිය ඉක්මනින් නැවත සක්‍රිය කිරීමට සහාය වීම සඳහා  රජයේ විශේෂ අවධානය මේ වන විට යොමු කර තිබෙනවා” යැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේය.

  • ශ්‍රී ලංකා මහ බැංකුව දුන් සහන

සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මඟින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 05 වැනිදා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එම නිල නිවේදනයේ මෙසේ සඳහන් විය. “මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර ආපදා තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක් වූ  ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබා දීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදු වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා (මින් ඉදිරියට ණය ගනුදෙනුකරුවන් ලෙස හඳුන්වනු ලැබේ) සහන ලබා දීමේ අරමුණින් බලපත්‍රලාභී  බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී”.

මෙහි දී මහ බැංකුව සඳහන් කළේ, අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් දෙසැම්බර් 15 වැනි දිනට පෙර ඉල්ලීමක් කළ විට,

  • තාවකාලික ණය සහන,
  • බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට නව ණය පහසුකම්,
  • බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුන්ගේ සියලුම ණය පහසුකම්වලට අදාළව චෙක්පත් අගරුවීමේ ගාස්තු, ගෙවීම නැවැත්වීම සඳහා වන ගාස්තු, ප්‍රමාද ගාස්තු, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ / ප්‍රතිලේඛනගත කිරීමේ ගාස්තු සහ දඩ පොළිය අය කිරීම 2026/01/31 දක්වා අත්හිටු වන ලෙස ද බලපත්‍රලාභී වාණිජ බංකුවලින් ඉල්ලා ඇත.
  • ඔ්නෑම ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට / ප්‍රතිලේඛනගත කිරීමකට අදාළ නියමයන්, කොන්දේසි සහ ණය පහසුකම්වලට අදාළ ණය මුදල, පොළිය සහ අනෙකුත් ගාස්තුවල සැකැස්මක් අනුමැතියට පෙර අදාළ ණය ගනුදෙනුකරුවන්ට පැහැදිලිව දන්වා සිටින ලෙස සහ ඒ සඳහා ණය ගනුදෙනුකරුවන්ගේ කැමැත්ත ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රම මඟින් ලබා ගන්නා ලෙස ද බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් ඉල්ලා සිටියේය.

දිට්වා සුළි කුණාටුව හමුවේ ආපදා කර්මාන්තවල රක්ෂණ හිමිකම් කඩිනම් කිරීම සහ ඒ ආශ්‍රිත ගැටළු වහාම අවසන් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. ඇස්තමේන්තුගත රක්ෂණ හිමිකම් ලැබෙන තෙක් අත්තිකාරම් ගෙවීමක් ලබා දීමේ හැකියාව, රක්ෂණ අර්බුදයේදී ඇතිවිය හැකි ගැටළු සහ නිර්වචන සහ අනාගත අවධානය කළමනාකරණය සඳහා ගත හැකි පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් රක්ෂණ වන්දි

මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ සියලුම රක්ෂණ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ සියලුම රක්ෂණ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

එම සාකච්ඡාවේදී අනාවරණය වූ පරිදි මෙම ආපදා තත්ත්වය තුළ හානියට පත් ව්‍යාපාර, දේපළ සහ  ජීවිත වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් දැනටමත් සියලුම රක්ෂණ සමාගම් ආරම්භ කර ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ අනුව සුළු දේපළ හානි වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට අවශ්‍ය  කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, විශාල දේපළ හානි සඳහා වන්දි ගෙවීම, ඊට අවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව සිදු කරන බවද, එතෙක් එම වන්දි මුදල්වලින් කොටසක් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද රක්ෂණ ආයතන නියෝජිතයන් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රතුඉර පුවත්පතේ 2025 දෙසැම්බර් 14 වැනි කලාපයේ ප්‍රකාශයට පත් වූ ලිපියකි

සටහන – භාතිය බරුකන්ද

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website