කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් මස 22 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය
දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
අද (2025 නොවැම්බර් 22) දින දකුණු අන්දමන් මුහුදේ අඩු පීඩන ප්‍රදේශයක් ඇති වීමට ඉඩ ඇත. ඉන්පසු එය බටහිර-වයඹ දෙසට ගමන් කර 2025 නොවැම්බර් 24 වන දින පමණ ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් දක්වා තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇත. ධීවර සහ නාවික ප්‍රජාවන්, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය: පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ: සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
source:https://meteo.gov.lk/











