පාකිස්තානයට යන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල වෙනසක්

පාකිස්තානයේ  පැවැත්වෙන එක්දින තරගාවලියට සහ පන්දුවාර විස්සයි-20 තුන්කොන් සටනට සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් ප්‍රකාශයට  පත් කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකු බැගින් ඇතුළත් මෙම කණ්ඩායම් දෙකේම නායකයා ලෙසින් චරිත් අසලංක කටයුතු කරනු ඇත.

නම් කරන ලද කණ්ඩායම් දෙකේම වෙනස්කම් කීපයක් සිදුකර ඇති අතර ඒ අතර නවක මුහුණු කීපයක්ම ඇතුළත්ව සිටියි. ඒ අනුව ප්‍රධාන වශයෙන් බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය අතරතුරදී ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කෙරුණු වනිඳු හසරංගව යළි එක්දින කණ්ඩායම සඳහා එක් කර තිබේ. අදාළ ආබාධිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය යටතේ පැවැති එක්දින තරගාවලිය නියෝජනය කිරීමෙ අවස්ථාව වනිඳුට මඟ හැරුණු නමුත්, අවසන් වතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවූවේය.

වනිඳු එක්දින කණ්ඩායමට පැමිණීමත් සමඟ කණ්ඩායමේ සමබරතාව යළිත් යථා තත්ත්වයට පත්වීමට වැඩි බලපෑමක් එල්ල කරනු අතර, ඔහු සතු ලෝක මට්ටමේ පා දඟ පන්දු යැවීමේ හැකියාවට අමතරව පසු පෙළින් පන්දුවට වේගයෙන් පහර දිය හැකි පිතිකරණය ශ්‍රී ලංකාවට වැඩි බලාපොරොත්තු ඇති කරවන මට්ටමේ වාසියක් එක් කරනු ඇත.

වනිඳුට අමතරව එක්දින කණ්ඩායම සඳහා දේශීය පළමු පෙළ තරග පිටියේ හොඳ සාමාන්‍යයක් රදවා ගැනීමට සමත්ව සිටින ළහිරු උදාර සහ කමිල් මිශාරව එක් කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන් දෙදෙනාට අමතරව තවත් තරුණ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ප්‍රමෝද් මදුශාන් සහ එෂාන් මාලිංග පිළිබඳව තේරීම් කමිටුව විශ්වාස තබා තිබේ.

මොවුන් කණ්ඩායමට පැමිණීමේදී ශ්‍රී ලංකාව අවසන් වරට සිම්බාබ්වේට එරෙහිව සහභාගිවුණු එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටි නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, මිලාන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේට සිය ස්ථාන අහිමිව තිබේ.

එක්දින කණ්ඩායමේ වෙනස් කම් එසේ සිදුකර තිබියදී විස්සයි-20 කණ්ඩායමේද ප්‍රධාන වෙනස්කම් 4 ක් සිදු කර තිබේ. අවසන් වතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැති පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇතුළත් නොවුණු ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ, පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත සහ වේග පන්දු යවන්නන් යුගලක් වන එෂාන් මාලිංග සහ අසිත ප්‍රනාන්දුව එක් කිරීමට උපුල් තරංගගේ සභාපතිත්තවයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මොවුන් කණ්ඩායමට පැමිණෙද්දී ආසියානු කුසලාන තරගාවලියට එක්ව සිටි චාමික කරුණාරත්න, නුවනිඳු ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකින්ට ස්ථාන අහිමිව තිබේ.

මේ අතර නම් කරන ලද එක්දින කණ්ඩායමට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකව එක් කිරීමට පියවර ගත්තද ඔහුගේ දණ හිස ආශ්‍රිතව ඇතිවී තිබෙන ආබාධය හේතුවෙන් මෙම තරග සංචාරයට සහභාගිවීමේ අවස්ථාව අහිමිව තිබේ. ඔහුගේ ස්ථානය සඳහා එෂාන් මාලිංගව ආදේශ කර තිබේ.

මෙම එක්දින තරගාවලිය අවසානයේදී පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද විස්සයි-20 කණ්ඩායමේ උප නායකයා ලෙස දසුන් ශානකව නම් කර තිබේ.

භානුක අවසන් වතාවට ජාත්‍යන්තර තරගයකට සහභාගිව ඇත්තේ ඉකුත් 2025 වසරේ ජනවාරි මස 02 වැනිදා නවසීලන්ත පිලට එරෙහිව නෙල්සන්හි පැවැති විස්සයි-20 තරගයට වේ. ඊට අමතරව වනිඳු හසරංගගේ සහායක පා දඟ පන්දු යවන්නා ලෙසින් මෙම තරගාවලිය සඳහා දකුණත් පා දඟ පන්දු යවන දුෂාන් හේමන්තව එක් කිරීමට පියවර ගෙන තිබේ.

නම් කරන ලද මූලික කණ්ඩායම සඳහා වේග පන්දු යවන මතීෂ පතිරණ ඇතුළත්ව සිටියද ඔහුටද ඇතිවී තිබෙන ශ්වසනාශ්‍රිතව ඇතිවී තිබෙන ආසාධනයක් හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා අසිත ප්‍රනාන්දුව ආදේශ කර තිබේ.

පාකිස්තානු තරග සංචාරය යටතේ පළමුවෙන්ම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය පැවැත්වෙන අතර අනතුරුව පන්දුවාර විස්සයි-20 ආකෘතිය යටතේ පැවැත්වෙන විස්සයි-20 තුන්කොන් තරගාවලිය ආරම්භ වනු ඇත.

නොවැම්බර් මස 11, 13, සහ 15 යන තෙදින පැවැත්වෙන එක්දින තරග 3 ම රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකාව තරග වදිනු ලබන පළමු තරගය හැර අනෙක් තරග සියල්ලම ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත. එම තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 29 වැනිදා ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත.

එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, දුෂ්මන්ත චමීර, අසිත  ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, ඩිල්ෂාන් මදුශංක.

විස්සයි-20 කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිල් මිශාර, දසුන් ශානක (උප නායක), කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග.

එක්දින තරගාවලිය

  • නොවැම්බර් 11 – පළමු එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී
  • නොවැම්බර් 13 – දෙවැනි එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී
  • නොවැම්බර් 15 – තෙවැනි එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී

විස්සයි-20 තුන්කොන් තරගාවලිය

  • නොවැම්බර් 19 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී
  • නොවැම්බර් 22 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලාහෝර්හිදී
  • නොවැම්බර් 25 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ලාහෝර්හිදී
  • නොවැම්බර් 27 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලාහෝර්හිදී
  • නොවැම්බර් 29 – අවසන් මහ තරගය ලාහෝර්හිදී

Source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website