පාස්කු මහ මොළය සොයාගනී…!

2019 අප්රේල් 21 වැනි දින සිදුවූ පාස්කු ඉරිදා දින ත්රස්ත ප්රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න සනාථ කරන බෝහෝ තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇතැයි ‘රතු ඉර’ වෙත කරුණු වාර්තා වෙයි.

පුද්ගලයින් 277 දෙනෙක් මරණයට පත්කරමින් සහ පුද්ගලයන් 400කට වැඩි ප්රමානයකට තුවාල සිදුකරමින් සිදුකළ මෙම ත්රස්ත ප්රහාරයට වඟකිවයුතු ප්රධාන පුද්ගලයා පිළිබඳව තොරතුරු බොහෝ ප්රමානයක් මේ වනවිට අනාවරණය වී ඇතැයි ද එම තොරතුරු මත අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න මේ වනවිට නිශ්චය කරගෙන සිටින බවද දැනගන්නට ලැබේ. ඒ අනුව නොදුරු දිනයකදී විශ්රාමික ඉහළ හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
මේ අතර පසුගිය 08 වෙනි දා පාර්ලිමේන්තුවේ පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවට පැමිණි මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගෙන්, එහි කමිටු සාමාජිකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළ සීඅයිඩී විමර්ශනයන් හි ප්රගතිය පිළිබඳව විමසා ඇති අතර එයට ප්රතිචාර දැක්වූ ලේකම්වරයා ‘මහ මොළකරු’ හඳුනාගෙන ඇතැයි ප්රකාශ කළ බව, සමාජ මාධ්ය වාර්තා කළේය.

මේ පිළිබඳව ‘රතු ඉර’ ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතාගෙන් විමසූ අතර එහිදී ඔහු ප්රකාශ කළේ තමන් ලේකම්වරයාගෙන් පාස්කු විමර්ශනයන් ගැන විමසූ බවත්, එහිදී ලේකම්වරයා එම ස්ථානයෙන් නැඟිට යන්නට මොහොතකට කළින් මහ මොළකරු හඳුනාගෙන සිටින බව ප්රකාශ කළ බවත් ය. එම අවස්ථාවේදී අගමැතිවරිය, බිමල් රත්නායක අමාත්යවරයා, වැනි කමිටු සාමාජිකයන් බොහෝ දෙනෙක් එම ස්ථානයේ සිටි බවද කාරියප්පර් මහතා ප්රකාශ කළේ ය. මේ පිළිබඳව විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතාගෙන් කරුණු විමසීම සඳහා ඔහුගේ දූරකථනයට ඇමතූවත් ඔහුගෙන් ප්රතිචාරයක් නැතිවිය.
2018 නොවැම්බර් මාසයේ 30දා සිදුවූ වව්නතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය, එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කරන ලද ඝාතන දෙකක් බව පෙන්වීම සඳහා කුමන්ත්රණය කළ බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් පසුගිය කාලයේ සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගත් අතර එම දෙදෙනා අතර සිටි එක් අයෙක් මෙම ඝාතනයන් සිදුවනවිට මඩකලපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර මේ වනවිට ඔහු රඳවාගෙන ප්රශ්න කරමින් ඇත. ඔහු හරහා ද විශාල තොරතුරු ප්රමානයක් අනාවරණය වී ඇති බව දැනගන්නට ලැබේ.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළව චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා චිත්රපටියක් හරහා හිටපු බුද්ධි ප්රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා එම ප්රහාරයට සම්බන්ධ බවට ආන්දෝලනාත්මක අනාවරණයක් කළ අතර ඒ පිළිබඳව ද සීඅයිඩීය විමර්ශනයක් ආරම්භ කළේය. එම විමර්ශනයට අදාළව සුරේෂ් සලේ මහතාගේ සහ පිල්ලෙයාන් මහතාගේ ගුවන් ගමන් තහනම් කිරීමට අධිකරණය කටයුතු කළේය.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website