ශ්‍රී ලංකාව AI සඳහා වන කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති

WION සහ Zee Media විසින් සංවිධානය කරනු ලැබූ ‘WION Digital Sri Lanka Summit 2026’ සමුළුව ඊයේ (26) කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

බුද්ධිමත්, ඒකාබද්ධ සහ සියලු දෙනා ඇතුළත්’ (Intelligent, Integrated and Inclusive) යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා 2048 වසරේදී ශ්‍රී ලංකාව සියවස් නිදහස සමරන විට අද පාසල් අධ්‍යාපනය අරඹන දරුවන් වෙනුවෙන් ශක්තිමත් ඩිජිටල් අනාගතයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව අවධාරණය කළේය.

තවද වර්තමානයේ ඩොලර් බිලියන 1.6ක් වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්ත අපනයන ආදායම 2030 වන විට ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාව දත්ත මධ්‍යස්ථාන සහ කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා වන කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructure) ප්‍රධාන කුළුණු තුනක් මත ගොඩනැගෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඩිජිටල් ගෙවීම් පද්ධති යටතේ ‘GovPay’ වේදිකාව හරහා මේ වන විට රාජ්‍ය ආයතන 300කට අධික සංඛ්‍යාවක රුපියල් බිලියන 5කට වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සිදු කර ඇති බවත් , දෙවන කුළුණ වන ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් හැඳුනුම්පත (SLUDI) විවෘත මූලාශ්‍ර තාක්ෂණය (Open-Source Architecture) මත පදනම්ව, පුරවැසි කැමැත්ත මත ක්‍රියාත්මක වන ‘e-Locker’ පහසුකමක් සහිතව පළමුවරට හැඳුනුම්පත් සඳහා අයදුම් කරන වයස අවුරුදු 16 පසුවන තරුණ තරුණියන් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්, තෙවන කුළුණ ලෙස පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව රාජ්‍ය ආයතන අතර ආරක්ෂිතව තොරතුරු හුවමාරු කරගත හැකි ජාතික දත්ත හුවමාරු පද්ධතියක් ස්ථාපිත කරන බවත් සඳහන් කළේය.

සන්නිවේදන ආවරණය 99% ඉක්මවා පුළුල් කිරීම, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සේවා ලබා දීම, කුසලතා සංවර්ධනය සහ ග්‍රාමීය ව්‍යාපාරිකයින් විධිමත් ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ කිරීම කෙරෙහි රජය ප්‍රමුඛත්වය දී ඇති බවත් සිංහල සහ දෙමළ භාෂා හඳුනාගත හැකි දේශීය කෘත්‍රිම බුද්ධි විසඳුම් නිර්මාණය කිරීම සඳහා ජාතික AI ආයතනයක් සහ AI දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන අතර, සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත අවසන් අදියරට පැමිණ ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පෞද්ගලික අංශය සහ නව ව්‍යාපාර (Startups) දිරිමත් කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලත් අරමුදලක් (Sovereign-backed Fund of Funds) පිහිටුවීමටත්, අථත්‍ය වත්කම් (Virtual Assets) සඳහා නියාමන රාමුවක් සැකසීමටත් කටයුතු කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දියාවේ UPI ගෙවීම් පද්ධතිය මෙරට LankaQR ජාලය සමඟ ඒකාබද්ධ කිරීම දෙරට අතර ඩිජිටල් සහයෝගීතාවයේ සාර්ථක ප්‍රතිඵලයක් බවද සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ GovTech Sri Lanka සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ Zee Media Corporation Limited හි ප්‍රධාන විධායක නිලධාරී රක්තිම් දාස් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ මාධ්‍ය නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website