ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විදේශ රටවලදී වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය

ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විදේශ රටවලදී වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ අවධානය යොමු වී තිබේ.

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ආයතන අතර පවතින සම්බන්ධීකරණ ගැටලු සහ සන්නිවේදන බාධා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම ඒ සඳහා රටේ පවතින නීතිමය හා ආයතනික ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුව එහි සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ රැස්වීමක් ලෙස පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස් විය.

මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිනිය විදේශ රටවලදී ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන්ගේ පෙර අපරාධ වාර්තා පිළිබඳව මෙරට අදාළ ආයතන දැනුවත් නොවීම හේතුවෙන් ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජගත වීමට ඉඩ ඇති බව පෙන්වා දුන්නාය. එමගින් ඔවුන් නැවතත් ලිංගික අපරාධවල නිරත වීමේ අවදානමක් පවතින බැවින්, විදේශීය අධිකරණ මගින් ලබා දෙන එවැනි නඩු තීන්දු මෙරට තුළ පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව, විදේශ රටවලදී ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණ ක්‍රමවේදයක් සකස් කිරීම, එවැනි පුද්ගලයන් පිළිබඳ තොරතුරු පොලිස් අපරාධ වාර්තා පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම, ළමයින් සමඟ කටයුතු කරන ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමේදී අනිවාර්ය පසුබිම් පරීක්ෂාවක් සිදු කිරීම සහ නැවත අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අවදානම මත පදනම් වූ නීත්‍යනුකූල අධීක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ සඳහා අවශ්‍ය නීති සංශෝධන හෝ නව නීති හෝ හඳුන්වාදීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය විය.

මීට අමතරව, මෙරට පරිවාස භාරයේ පසුවන දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ යහපැවැත්ම තහවුරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ අනුව, පරිවාස භාරයේ පසුවන චූදිත දරුවන් සහ වින්දිත දරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සෑම මාස හයකට වරක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සහ චර්යාත්මක වාර්තාවක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා විය.

එමෙන්ම, පළාත් සභා යටතේ පාලනය වන පරිවාස ආයතන මධ්‍යම රජය යටතට පවරා ගැනීමේ හැකියාව සහ එම ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමේදී පරිවාස සේවයේ පළපුරුදු නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

තවද, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ 1999 අංක 37 දරන නඩත්තු පනත ඇතුළු කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පනත් කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

එසේම, එසේම දරුවන් සහ කාන්තාවන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණ තීන්දු ලබා දීමේදී ඇති වන ප්‍රමාදය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විසඳුම් සහ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ද කාරක සභාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකා ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ සාමාජිකාවන් වන සමන්මලී ගුණසිංහ, නීතිඥ තුෂාරි ජයසිංහ , නීතිඥ නිලන්ති කොට්ටහච්චි නීතිඥ අනුෂ්කා තිලකරත්න සහ නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ යන මහත්මීහු සහභාගී වූහ.

එසේම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website