#JusticeIs MyRight – ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට එක්වන්න – ජාතික මුල පිරීම හෙට ඇරඹේ !

ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් අයට යුක්තිය සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ජාතික මුලපිරීමක් ශ්‍රී ලංකාව නිල වශයෙන් දියත් කර තිබේ.

මෙම මුලපිරීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ශ්‍රී ලංකාව සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහි සංසදය (FAGBV) එක්ව හඳුන්වා දී ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් ඇතුළු කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම වැඩසටහන පිළිබඳ විස්තර කරන ලදී.

“#JusticeIs MyRight – ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට එක්වන්න” යන ජාතික තේමාව යටතේ, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් 25 වන දින සිට මානව හිමිකම් දිනය වන දෙසැම්බර් 10 වන දින දක්වා මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපාරයේ කොටසක් ලෙස, නොවැම්බර් 25 වන බදාදා කොළඹ තුරඟ තරඟ පිටියේ සිට කොළඹ මහ නගර සභාව දක්වා ජාතික පාගමනක් පැවැත්වෙනු ඇත. යුක්තිය ලබා ගැනීමට ඇති බාධක ජය ගැනීම කෙරෙහි අවධානය යොමු කරන සංවාදයක් මෙම පාගමනෙන් පසුව පැවැත්වේ.

ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් අයට සහාය ලබා දෙන ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා GBV සේවා සපයන්නන්ගේ ජාතික ඩිජිටල් නාමාවලියක් ද හඳුන්වා දෙනු ලැබේ.

ඊට අමතරව, පොදු ස්ථානවල ලිංගික හිංසන සිදුවීම් සහ ගෘහස්ථ හිංසනය හඳුනාගෙන ඒවාට මැදිහත් වීමට ප්‍රජාවන් දිරිමත් කිරීම සඳහා “එය කුඩා දෙයක් නොවේ” යන මාතෘකාව යටතේ මහජන දැනුවත් කිරීමේ මුලපිරීමක් දියත් කෙරේ.

නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ද ඒකාබද්ධ කර දෙසැම්බර් 12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තු කාන්තා සංසදයට ඉදිරිපත් කෙරේ.

ප්‍රචණ්ඩත්වය අත්විඳින කාන්තාවන්ට සහාය ලබා දෙන පැය 24 පුරාම ක්‍රියාත්මක වන ගාස්තු රහිත කාන්තා උපකාරක සේවාව (1938) පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website