2027 අයවැයෙන් වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයින්ට ප්‍රමාණවත් සහන නෑ- රට හැර යාම වේගවත් වීමේ අවදානමක්

2027 අයවැය මඟින් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට අර්ථවත් සහනයක් ලබා දීමට අපොහොසත් වීම, වෛද්‍ය වෘත්තිකයන් රටින් පිටවීම වේගවත් කළ හැකි බවට වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සන්ධානයේ සභාපති වෛද්‍ය සංජීව අනතුරු ඇඟවීය.

අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට අයවැයෙන් අපොහොසත් වී ඇති බවත්, වෘත්තිකයන්ට ලබා දෙන සහන අවම මට්ටමක පවතින බවත් ඔහු පැවසුවේය.

“විශේෂයෙන් වෛද්‍යවරුන්ට අපේක්ෂිත වැටුප් වැඩිවීම්, වැඩිදියුණු කළ දීමනා, වාහන බලපත්‍ර හෝ ප්‍රවාහන දීමනා ලැබී නැහැ. ජීවන වියදම ඉහළ යාමත් සමඟ වැටුප් පහත වැටීම දිගටම පවතින බැවින්, මෙම තත්ත්වය තරුණ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් විදේශ රැකියා සොයමින් සිටීමට තවත් දිරිමත් කළ හැකියි.

එසේම අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා වන ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස වැඩි වී නැහැ. 2024 සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද වැඩසටහන් කිහිපයක් සම්පූර්ණ කිරීමට මේ දක්වා හැකියාව ලැබී නැහැ. මෙම අංශවල පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා ප්‍රායෝගික නව යෝජනා හඳුන්වා දීමට ද අයවැය අසමත් වී තිබෙනවා. මේ පසුබිම තුළ 2027 සහ 2028 වසර වෘත්තිකයන්ට විශේෂයෙන් දුෂ්කර වසර විය හැකි බව පැහැදිලියි. ඒ හරහා කුසලතා ඇති ශ්‍රම බලකායෙන් වැඩි ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමකට රට මුහුණ දී සිටිනවා” වෛද්‍ය චමල් සංජීව වැඩි දුරත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website