ළමා හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (06) රැස්විය.

මෙහිදී ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ තාක්ෂණික හා පර්යේෂණමය ධාරිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී නොවැම්බර් 20 වැනිදා ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත “විශේෂ ළමා පාර්ලිමේන්තු සහභාගීත්ව වැඩසටහන” පිළිබඳව අවධානය යොමු විය. දිවයින පුරා දරුවන් 1,200කට අධික පිරිසකගේ අදහස් ලබා ගෙන සකස් කළ ළමා ප්‍රකාශනය (Children’s Statement) දරුවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය බවත්, ළමා අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ළමා සංසදයක් නැවත ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවදත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

තවද, ළමා අපයෝජන සම්බන්ධ නඩු කඩිනම් කිරීම, ඒ සඳහා පවතින නීතිමය බාධා ඉවත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ගෝලීය ක්‍රියාකාරී වැඩසටහන පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉහත වැඩසටහන යටතේ “This is my right” යන තේමාවෙන් දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානය කිරීමටත්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කර ඇති සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

එම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට අමතරව මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී කරගැනීමට අපේක්ෂා කරන බව මෙහිදී පැමිණි නියෝජිතයෝ පැවසූහ. එමෙන්ම, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සහාය ලබා ගත හැකි ආයතන හා සේවා පිළිබඳ තොරතුරු ඇතුළත් QR කේතයක් සහිත ඩිජිටල් සේවා නාමාවලියක් හඳුන්වාදීම සහ අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංවාදයක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මේ අතර, මැක්ස් ප්ලෑන්ක් පදනමේ (Max Planck Foundation) නියෝජිතයන් සමඟ පැවති තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ පසු විපරම් සාකච්ඡාවේදී පාර්ලිමේන්තු පර්යේෂණ සහාය සහ දැනුම හුවමාරුව සම්බන්ධයෙන් අවධානය යොමු විය. නීති කෙටුම්පත් සකස් කිරීම, සංසන්දනාත්මක නීති අධ්‍යයනය සහ පනත් කෙටුම්පත්වල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව හා මානව හිමිකම් කෙරෙහි ඇති බලපෑම ඇගයීම වැනි ක්ෂේත්‍රවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තාක්ෂණික හා පර්යේෂණමය සහාය ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, ළමා ආරක්ෂාව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මුල්කරගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website