දිවයින පුරා රිය අනතුරුවලින් පුද්ගලයින් හය දෙනෙක් මරුට

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයට අනුව කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ මාහේන ප්‍රදේශයේ ඊයේ (07) පස්වරුවේ වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පිරි දෙනෙකු සහ කාන්තාවක් මිය ගොස් තිබේ. ඉන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබති.

කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් කළ වෑන් රථයක් තවත් වාහනයක් පසු කිරීමට උත්සහ කළ අවස්ථාවේදී නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර කල්මුණේ – මඩකලපුව මාර්ගයේ 392 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කල්මුණේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා කල්මුණේ උතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ පෙරියනිලාවනි ප්‍රදේශයේ පදිංච සිටි 80 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුද එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පෙරියනිලාවනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ තෙළුල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. තණමල්විල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හඳපානාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ කහදෙනියගම හන්දිය අසලදී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසි කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. එහිදී යතුරුපැදිකරු සහ කාර් රථයේ රියැදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, යතුරුපැදිකරු මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ දුනුකදෙනිය, වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංච සිටි 22 හැවිරිදි තරුණයෙකි. දුම්මලසූරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website