දුම්රියේ ඇත්ත අවුල මෙන්න – ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

දැනට අක්‍රිය මට්ටමේ පවතින දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල නැවත ධාවනයට එක් කිරීම සඳහා මේවන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

ඒ අනුව, රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ කර්මාන්ත ශාලා මගින් අදාළ අලුත්වැඩියා කටයුතු මෙන්ම ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උපදෙපාර්තමේන්තුවේ ධාවනාගාර මගින් සුළු අලුත්වැඩියාවන් සිදු කරමින් පවතින බවත් තවත් එන්ජින් කිහිපයක් බාහිර පාර්ශව මගින් අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දිට්වා ආපදාවට පෙර මගී දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 331ක් සහ බඩු ප්‍රවාහන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 28ක් ක්‍රියාත්මක වුව ද දිට්වා ආපදාවෙන් පසු දැනට දිනකට මගී දුම්රිය ගමන් වාර 200ක් සහ බඩු ප්‍රවාහන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 28 ක් සිදු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

සමස්ත දුම්රිය ගමන් වාර ආවරණය කිරීම සඳහා දුම්රිය එන්ජින් 84ක් සහ බලවේග කට්ටල එන්ජින් 106ක් අවශ්‍ය වුවත්, දුම්රිය එන්ජින් 49ක් සහ බලවේග කට්ටල එන්ජින් 82ක් සක්‍රිය ධාවන තත්ත්වයේ පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති, එහෙත් නැවත ධාවන තත්ත්වයට පත් කළ හැකි මට්ටමේ දුම්රිය එන්ජින් 47ක් සහ බලවේග කට්ටල එන්ජින් 48ක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website