අප මාතෘ භූමියේ බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට හැකි පරිසරය පවත්වාගැනීමට මෙන්ම මහජනතාවට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන පොලිස් සේවා දිවා රැය නොබලා සැලසීම උදෙසා දිවුරුම් දෙමින්, මාස 06 කට ආසන්න කාලයක් මහිංගණය සහ කුණ්ඩසාලේ පොලිස් විදුහල් සෙවණේ සිය මූලික පුහුණුව සම්පූර්ණ කළ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 492 ක් ඔවුන් අනුයුක්ත කළ පොලිස් ස්ථාන වෙත අද (04) දින සාඩම්බරව විසිර ගියහ.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විසිරයාමේ උත්සවය මෙදින උදෑසන මහියංගණය පොලිස් විද්‍යාල ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙස පැවැත්වුනි.
ඇණි 10 කින් සමන්විත වූ මෙවර විසිරයාමේ උළෙලේ සම්මාන පෙළපාලිය ප්‍රධාන අණදෙන නිලධාරී ලෙස මෙහෙයවනු ලැබුවේ ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රුචිර කරුණානායක මහතා විසින්ය. දෙවන අණදෙන නිලධාරීවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලාන් ඔසඳ මහතා කටයුතු කරන ලදී.
සම්මාන පෙළපාලිය නිමාවීමෙන් අනතුරුව පුහුණුකාලය තුල කැපී පෙනෙන අයුරින් විශිෂ්ඨ දස්කම් දැක්වූ නිලධාරීන් උදෙසා කාණ්ඩ 03 ක් යටතේ ත්‍යාග සහ සහතික පත් මහජන ආරක්ෂක ලේකම්තුමන් සහ පොලිස්පතිතුමන් විසින් ලබාදෙන ලදී.
* විසිර යන 492 ක් වූ නිලධාරීන් අතරින් අති දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල් – 108376 ඒ.එන්.ඩී.කේ විජේකෝන්
* විසිර යන 492 ක් වූ නිලධාරීන් අතරින් දක්ෂතම වෙඩික්කරු – ආධුනික පොලිස් කොස්තාපල් 108423 කේ.ඒ්.එස්.වී ගුණතුංග
* මහියංගණය පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික නිලධාරන්ගෙන් නීතිය පිළිබඳව දක්ෂතම ආධුනික නිලධාරී – 108610 සී.ටී කුරුප්පු නිලධාරියා
* කුණ්ඩසාලය පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික නිලධාරන්ගෙන් නීතිය පිළිබඳව දක්ෂතම ආධුනික නිලධාරී – 108725 එන්,ජේ.ඒ්.එස් ජයසිංහ නිලධාරියා
උත්සව සභාව ආරම්භකරමින් පුහුණු සහ උසස් පුහුණු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා විසින් උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වා ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුලුව පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආධුනික නිලධාරීන්ගේ දෙමව්පියන් සහ හිතවතුන් සාදරයෙන් පිළිගත්තේය.
ඉන් අනතුරුව උත්සව සභාව ආමන්ත්‍රණය කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නවක නිලධාරීන්ට සුභාසිංශන එක්කර පොලිස් සේවයේ යහපත් වෘත්තීයභාවයෙන් නිරතවීමෙන් ජීවිතයට එක්කර ගත හැකි වටිනාකම් පිළිබඳව පැහැදිලි කළහ.
මෙවර ශ්‍රී ලංකා පොලිසියට බඳවාගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේදී පොලිස් කොස්තාපල් නිලයට අදාළව අයදුම්පත් 12,000 ක ප්‍රමාණයක් ලැබී තිබූ බවත් සලකාබලනු ලබන සුදුසුකම් සපුරා තිබූ යහපත් චරිත ලෙස හඳුනාගත් 1398 ක ප්‍රමාණයක් බඳවාගත් බවත්, එම ප්‍රමාණය අතර සිටින මෙම වාසනාවන්ත නිලධාරීන් හාරසිය අනූ දෙදෙනා ගෞරවනීය පොලිස් නිලධාරීන් ලෙස සේවා කාලය තුළ කැපවීමෙන් රට දැයට සේවය කිරීමට අදිටන් කරගත යුතු බව පොලිස්පතිතුමන් ආධුනික නිලධාරීන්ට අවධාරණය කරන ලදී.
පොලිස් බටහිර තූර්ය වාදන කණ්ඩායම සමඟින් සුපුරුදු පරිදි විසිර යාමේ උළලක සමාප්තිය ගාම්භීරත්වයෙන්, රසාස්වාදයෙන් සහ දර්ශනීයභාවයෙන් නිමකිරීමට කටයුතු කර තිබූ අතර පුහුණුව ලැබූ ආධුනික නිලධාරීන් අතරින් 94 දෙනෙකු මෙහිදී ඉදිරිපත්කළ ක්‍රව් මාගා (Krav Maga) සටන් ශිල්පය භාවිතයෙන් පහරදීමකින් ආරක්ෂාවන ආකාරය දැක්වෙන සංදර්ශනය පැමිණ සිටි සියළු දෙනාගේ අවධානය දිනාගැනීමට සමත්විය.
මෙරට ආදිවාසී වැදි ජනතාවගේ නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ මෙන්ම ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ මහතා, බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා, පොලිස් විද්‍යාලයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුෂාන්ත රුවන් තලගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් රැසකගේ සහභාගීත්වය මෙම අවස්ථාට හිමි විය.
විසිරයාමේ උත්සවයේ සියළු අවස්ථා SRI LANKA POICE නිල FACEBOOK පිටුව ඔස්සේ මෙදින උදෑසන සජීවීව විකාශය කෙරුණි.















