ආපදාවකදී ජනතාවට සහන සැලසීම සිදුකරනවා සේ ම නැවත එවැනි ආපදා ඇති නොවන පරිදි අවශ්ය පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්රියාමාර්ග ගැනීම රජයේ වගකීම වන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළා ය.
රත්මලාන – කඳවල මාර්ගය සහ අදාළ නිර්මිතයන් සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ සමාරම්භය වෙනුවෙන් ඔක්තෝබර් 30 වැනි දා කඳවල දී පැවති සමාරම්භක උත්සවය හා එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව පවසන ලදී.
රත්මලාන – කඳවල මාර්ගය සහ අදාළ නිර්මිතයන් සංවර්ධනය වෙනුවෙන් වන මෙම ව්යාපෘතිය බස්නාහිර පළාත් සභාවේ නියාමනයෙන් සහ බස්නාහිර පළාත් මාර්ග අමාත්යංශයේ අධීක්ෂණයෙන් ද බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ක්රියාත්මක බලධාරීත්වයෙන් ක්රියාත්මක වන අතර බස්නාහිර පළාත් සංවර්ධන අරමුදලේ රුපියල් මිලියන 1,104 ක ප්රතිපාදන මේ සඳහා වෙන් වී ඇත.
මෙහිදී උත්සව සභාව ආමන්ත්රණය කළ අග්රාමාත්යවරිය, අභිනව කඳවල සංවර්ධන ව්යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන අධිකාරිය සහ අදාළ රාජ්ය ආයතන අතර පවතින මනා සම්බන්ධීකරණය, අන්යෝන්ය අවබෝධය සහ සහයෝගීතාව විශේෂ ඇගයීමට ලක් කළාය. එමෙන්ම, කඳවල ප්රදේශයේ ජනතාව මෙන්ම එහි පිහිටි රාජ්ය හා පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලා ද පොදු අරමුණක් වෙනුවෙන් විවිධ කැපකිරීම් සිදුකරමින් මෙම ව්යාපෘතියට ලබාදෙන දායකත්වය ද අගය කළාය.
එමෙන්ම ව්යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් අඛණ්ඩව මැදිහත් වූ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී සමන්මලී ගුණසිංහ මන්ත්රීවරියටත් මේ සඳහා මූල්යමය බාධා ඇති නොවන පරිදි සිදුකළ මැදිහත්වීම සම්බන්ධව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වූ අග්රාමාත්යවරිය මෙම ව්යාපෘතිය වසරක් ඇතුළත අවසන් කිරීම රජයේ සැලසුම බවත්, ඒ තුළින් ප්රදේශවාසීන්ට සැලකිය යුතු උපරිම සහනයක් සැලසෙනු ඇති බවත් පැවසීය.
වැඩිදුරටත් අදහස් පැවසූ අග්රාමාත්යවරිය,
“නාගරික සංවර්ධනය කියන්නේ අපේ ප්රධාන වගකීමක්. ඒ වෙනුවෙන් කොළඹ දිස්ත්රික්කය තුළත් අපි සැලසුම් ගණනාවක් ක්රියාත්මක කරමින් සිටිනවා. පසුගිය 27 වැනිදා (ඔක්තෝබර් 27) අපි කොළඹ බේස්ලයින් මාර්ගයේ සංවර්ධන කටයුතුවල තුන්වන අදියර ආරම්භ කළා. ඒ සඳහා රුපියල් බිලියන 2.8ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම රුපියල් මිලියන 15,077ක කොළොන්නාව වැසි ජලය අපවහන ව්යාපෘතියටත් කැබිනට් අනුමැතිය හිමිවුණා. කොළොන්නාව ඇතුළු ගංවතුර අවදානමට ලක්වන කොළඹ ප්රදේශවල ජනතාවගේ ගැටලුවලට දිගුකාලීන විසඳුම් ලබාදීම සඳහා තවත් පුළුල් ව්යාපෘතියක් ද අපි සැලසුම් කර තිබෙනවා. ඒ සඳහාත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
විශේෂත්වය වන්නේ මේ සියලු ව්යාපෘති ක්රියාත්මක කරන්නේ ණය මුදල්වලින් නොව දේශීය අරමුදල්වලින් වීමයි. රජයේ මූල්ය කළමනාකරණය සහ දේශීය ආදායම් ඉහළ යාමත් සමඟ භාණ්ඩාගාරය ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා ණය නොවී රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අපේ අරමුණ ජනතාවට යහපත්, සුරක්ෂිත සහ පහසු ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් ගොඩනැඟීමයි. එය දේශපාලන අධිකාරිය ලෙස අපගේ සහ රාජ්ය නිලධාරීන්ගේත් වගකීමක්.”.















