
කාවන්තිස්ස ඇතා මිය යාම පරිසරවේදීන්ගේ, වන සත්ත්ව ලෝලීන්ගේ පමණක් නොව පොදුවේ ගත් විට සාමාන්‍ය ජනතාව තුළ ද දැඩි කම්පනයක් ඇති කළ සිදුවීමක් බවට පත්ව තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළ කරන බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තමේන්තුව දැඩිව විවේචනය කරන අතර ඔවුන්ට නිමක් නැතිව දොස් පවරනු ද දැකගත හැකිය.
කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මා කෘත්‍රිම බුද්ධියෙන් කළ විමසීමක දී ලැබුණු පිළිතුර වෙත ද අවධානය යොමු කිරීම වැදගත්ය. ‘ශ්‍රී ලංකාවේ අවදානමට මුහුණ දී ඇති අලි පරපුරේ ආරක්ෂාව සහතික කිරීම සිදුකළ හැක්කේ කෙසේ ද ?’ යන ප්‍රශ්නයට කෘත්‍රිම බුද්ධිය විසින් ලබා දුන් පුළුල් පිළිතුර පහත සඳහන් වන ආකාරයට සාරාංශ ගත කළ හැකිය.
- අලි – මිනිස් ගැටුම අවම කිරීම – ප්‍රජා සහභාගීත්වය, නිසි නඩත්තුව සහිත විදුලි වැටවල් සහ කඩිනම් අනතුරු ඇඟවීම්.
- වාසස්ථාන හා සංචරණ මාර්ග රැකීම – වනාන්තර සම්බන්ධතාව ආරක්ෂා කිරීම හා සැලසුම් රහිත ඉඩම් පරිහරණය පාලනය.
- විද්‍යාත්මක කළමනාකරණය – දත්ත, GSP නිරීක්ෂණය හා පර්යේෂණ මත පදනම් වූ ප්‍රදේශයට ගැළපෙන විසඳුම්.
- නීතිය ක්‍රියාත්මක කිරීම – නීති විරෝධී ඝාතන වැළැක්වීම සහ දුම්රිය අනතුරු ඇතුළු මරණ අවදානම අවම කිරීම.
- ජනතාවගේ සහභාගීත්වය සහ වගවීම – ගොවිජනතාවට සහන, ආයතන අතර සම්බන්ධීකරණය සහ ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල ඇගයීම.
සාර්ථක සංරක්ෂණය යනු, අලි මරණ අඩු කිරීමත්, මිනිසුන්ගේ ජීවිත හා ජීවනෝපාය ආරක්ෂා කිරීමත් බව ද කෘත්‍රිම බුද්ධිය වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ වන අලි පරපුර සුරැකීමේ ප්‍රධාන ක්‍රියාමාර්ග ලෙස කෘත්‍රිම බුද්ධිය විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග වෙත ද අපගේ අවධානය යොමු කළ හැකිය.
- අලි මංකඩ හා රක්ෂිත – සාම්ප්‍රදායික ගමන් මාර්ග නිදහස් කිරීම සහ වනාන්තර කැබලි වීම වැළැක්වීම.
- ප්‍රජා විදුලි වැටවල් – ගම්මාන සහ වගා භූමි වටා ප්‍රදේශවාසීන්ගේ නඩත්තුවෙන් ක්‍රියාත්මක වන විදුලි වැටවල්.
- විකල්ප වගා ක්‍රම – අලින් නොකන (දෙහි, මිරිස් වැනි) වගාවන් සහ මීමැසි ජනපද වැනි ජෛව වැටවල්.
- තද නීතිමය පියවර – හක්කපටස්, විෂදීම, නීති විරෝධී ජාවාරම්වලට දැඩි දණ්ඩන පැනවීම.
- AI තාක්ෂණය සහ වන්දි ක්‍රමවේද – GSP කරපටි මඟින් පූර්ව අනතුරු ඇඟවීම්, වගා සහ ජීවිත හානි සඳහා ඍජුව කඩිනම් වන්දි ලබාදීම.
ශ්‍රී ලංකාවේ අලි ආරක්ෂා කර ගන්නේ කෙසේද ? යන ප්‍රශ්නයට ද කෘත්‍රිම බුද්ධිය විසින් ලබා දුන් විසඳුම් යෝජනා ද අපගේ අවධානයට ලක්විය යුතුය. ඒවා පහත දැක්වේ.
- වාසභූමි ආරක්ෂාව – අලි ගමන් මාර්ග ආරක්ෂා කිරීම සහ නැවත වන වගාව.
- ගැටුම් අවම කිරීම – ප්‍රජා විදුලි වැටවල් සහ පූර්ව අනතුරු ඇඟවීම්.
- නීතිය ක්‍රියාත්මක කිරීම – හක්පටස්, උගුල් සහ ජාවාරම් පාලනය.
- ප්‍රජා සහභාගීත්වය – වන්දි, බෝග රක්ෂණය සහ සංචාරක ආදායම් බෙදීම.
- පර්යේෂණ – GSP කරපටි, සංගණන සහ සෞඛ්‍ය නිරීක්ෂණය.
- දැනුවත් කිරීම – පාසල් සහ ප්‍රජා දැනුවත් කිරීම.
මෙහි අදහස වන්නේ වන අලි මිය යාමට හේතු වන ක්‍රම සහ හේතු අප සියලු දෙනා දන්නා කාරණා වන බවයි. එනම් අලි ඝාතනය වීම වළක්වා ගැනීමට අවශ්‍ය ක්රමෝපායන් ගැන අවබෝධයක් සහ දැනුමක් අප සතුව තිබෙන බවයි.
වනඅලි සම්පත ආරක්ෂා කර ගැනීමට තනි විසඳුමක් නොමැති අතර සියලු විසඳුම් එකවර ක්‍රියාත්මක විය යුතු බව කෘත්‍රිම බුද්ධිය අවධාරණය කළ අතර සංරක්ෂණය සම්බන්ධයෙන් ද සිය අදහස ඉදිරිපත් කළේය.
කෘත්‍රිම බුද්ධියට අනුව “සංරක්ෂණයේ සැබෑ සාර්ථකත්වය මැනිය යුත්තේ ඉදිකළ විදුලි වැටවල් වල දිග ප්‍රමාණයෙන් හෝ ගත් තීරණ ගණනින් නොව, මිනිස් හා අලි මරණ අඩු වී දෙපාර්ශ්වයේම ආරක්ෂාව තහවුරු වී තිබේද ? යන කරුණ පදනම් කර ගෙනය” ප්‍රකාශය කෘත්‍රිම බුද්ධිය විසින් ජනනය කළ ද වැදගත් කියමනක් ලෙස සැලකිය හැකිය.

මේ සමඟ වන අලි සහ මිනිස් මරණ ගැන ද අපගේ අවධාන යොමු කළ යුතුය. 2025 වර්ෂයේ දත්ත වලට අනුව වන අලි මරණ 455ක් සහ පුද්ගල මරණ 160ක් වාර්තා වී ඇත. වන අලි මරණ සහ පුද්ගල මරණ වැඩිම සංඛ්‍යාවක් (101ක් සහ 39ක්) අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අලි මරණ 73ක් සහ පුද්ගල මරණ 29ක් වාර්තා වී ඇත. සමස්තයක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 17කින් අලි මරණ වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 14කින් මිනිස් මරණ වාර්තා වී ඇත.
මෙහිදී ගණනය කර ඇත්තේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පමණක් වුව ද වන අලි ප්‍රහාර වලින් මිනිස් ජීවිත වලට සිදු වූ හානිය මීට වඩා වැඩි විය හැකිය. උදාහරණයක් ලෙස සදාකාලික අබාධිතභාවයට පත්වූ හෝ තුවාල ලැබූ පුද්ගලයින් ද විශාල පිරිසක් වාර්ෂිකව වාර්තා වේ. එසේම දේපොළ හානි, වගා බිම්වලට සිදුකරන හානි ද සැලකිය යුතු තරම් බව වාර්තා වේ.
මෙහි දී තවත් වැදගත් කරුණක් වෙත ද අවධානය යොමු කළ යුතුය. එනම් වන අලි ප්‍රහාර වලට බහුලව ලක්වන්නේ වැඩිහිටි පිරිමි පුද්ගලයින් වන අතර, ඔවුන් බොහෝ විට ගෘහමූලිකයින් ද වේ. වන අලි ප්‍රහාරයකින් පවුලේ ගෘහ මූලිකයා මිය ගියහොත් හෝ සදාකාලික ආබාධිතභාවයට පත් වුවහොත් එකී පවුලට ද ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේ. මෙය ද අවධානයට යොමු විය යුතු කරුණකි.
අනෙක් කරුණ වන්නේ වන අලි ප්‍රහාර හේතුවෙන් මිය යන හෝ තුවාල ලබන පුද්ගලයින් බහුතරය කිසිම ආකාරයකින් අලි – මිනිස් ගැටුමට සම්බන්ධ වූවෝ නොවෙති.
- අලි වෙනුවෙන් අලි කතා
අලි – මිනිස් ගැටුම ගැන සිදු වන සාකච්ඡාවේ දී අවධානයට යොමු විය යුතු තවත් වැදගත් පැතිකඩක් තිබේ. එනම් අලි – මිනිස් ගැටුමේ දී අලි වෙනුවෙන් කතා කරන්නේ ‘විනෝදයට අලි බලන, අලින්ගෙන් කිසිම හානියක් හෝ පීඩාවක් නොමැති’ පුද්ගලයින් බවට ද අලින්ගෙන් බැට කන මිනිස්සුන් අලින් වෙනුවෙන් කතා නොකරන බවට ද චෝදනාවක් තිබේ.
නමුත් අලින්ගෙන් බැට කන, පීඩාවට පත්වන ගම්වැසියන් බහුතරය ද අලින් වෙනුවෙන් සංවේදී බව අප වටහා ගත යුතුය.
- වන අලි මරණ
වන අලි මරණ වාර්තා වන ආකාරය කෙරෙහි ද මෙහි දී අපගේ අවධානය යොමුවිය යුතුය. වනජීවී දෙපාර්තමේන්තුවට අනුව 2010 – 2025 කාලය තුළ වාර්තා වූ වන අලි මරණ සංඛ්‍යාව 5074ක් වන අතර, එම කාලය තුළ මිනිස් ජීවිත 1699ක් ද වන අලි ප්‍රහාර හේතුවෙන් අහිමි වී තිබේ.
වන අලි මරණවලට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ වෙඩි තැබීම වන අතර මෙම කාලය තුළ වන අලි මරණ 947ක් වාර්තා වී ඇත්තේ වෙඩි තැබීම් හේතුවෙනි. හක්කපටස් හේතුවෙන් වන අලි මරණ 795ක්, විදුලිය වැදීම හේතුවෙන් මරණ 571ක්, ස්වභාවික මරණ 267ක්, අනතුරු 197ක් ආදි වශයෙන් මෙම මරණ වාර්තා වී ඇත.

ඉහත තොරතුරුවලට අනුව වන අලි මරණවලින් බහුතරයකට හේතු වන්නේ වෙඩි තැබීම් වන අතර මෙම මරණ බොහෝ විට වාර්තා වන්නේ වගා බිම්වලට හානි කිරීමට පැමිණි විට ගොවීන් විසින් සිදුකරන වෙඩි තැබීම් හේතුවෙනි. නමුත් මෙහි ඇති වැදගත් කරුණ වන්නේ මේ ආකාරයෙන් ඝාතනයට ලක්වන බහුතරය පිරිමි අලින් හෝ ඇතුන් වීමය. වෙඩි තැබීම් ද දෙයාකාරයකට, එනම් බඳින තුවක්කු සහ තුවක්කු භාවිතයෙන් සිදුවේ.
හක්කපටස් වඩාත් ව්‍යවසනකාරී සහ අමානුෂික ක්‍රමයක් ලෙස ද සැලකිය හැකිය. ඊට හේතුව වන්නේ හක්කපටස්වලට බහුලව ගොදුරු වන්නේ වයස අවුරුදු 05කට අඩු අලි පැටවුන් වීමය.
අනුමත හා සම්මත විදුලි වැට අලියෙකු ඝාතනය කිරීමට තරම් විදුලි බලයක් සහිත නොවේ. නමුත් බොහෝ අවස්ථාවල අනවසර විදුලි රැහැන් මෙම මරණවලට හේතුව බවට පත්වේ. (ප්‍රධාන විදුලි පද්ධතියට අනවසරයෙන් සම්බන්ධ කරන විදුලි රැහැන්). භරණ ආදි ප්‍රකට ඇතුන් කිහිප දෙනෙකුගේ ඝාතනවලට මෙම අනවසර විදුලි රැහැන් සම්බන්ධ වේ.
වන අලි ප්‍රහාර හේතුවෙන් 2010-25 කාලය තුළ මරණ 1699ක් සිදුව ඇති අතර මෙම සංඛ්‍යාවට සදාකාලික අබාධිතභාවයට පත්වීම හෝ තුවාල ලැබීම ඇතුළත්ව නැත. සමස්තයක් ලෙස ගත්විට වන අලි ප්‍රහාර හේතුවෙන් සැලකිය යුතු පිරිසක් මරණයට සහ තුවාලවලට ලක්වන අතර වගා බිම් විනාශ විම, නිවාස ඇතුළු දේපොළ හානිය ද විශාල වශයෙන් සිදු වී ඇති බව අපට නිරීක්ෂණය කළ හැකිය. එසේම මෙම ප්‍රහාර වලට ලක්වන අති බහුරය ග්‍රාමීය ගොවි ජනතාව සහ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් වන අතර එය ඔවුන්ට ආර්ථික හා සමාජයීය වශයෙන් දැඩි පීඩනයක් එල්ල කර ඇත.
- එකම දේ ලිවීමට සිදුවීම
පරිසර මාධ්‍යවේදියෙකු ලෙස මීට වසර 18කට පමණ පෙර මා මුල්ම පුවත්පත් ලිපිය ලියන ලද්දේ හක්කපටස් හේතුවෙන් ඝාතනයට ලක් වූ වන අලියෙකු සම්බන්ධයෙනි. අදට වසර 20කට පමණ පෙර හක්කපටස් භාවිතයට පැමිණි අතර එය මේ වන විට ව්‍යසනයක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් පරිසර මාධ්‍යවේදියෙකු ලෙස පසුගිය වසර 18කට ආසන්න කාලය තුළ වන අලි සම්බන්ධයෙන් ම විසින් ලිපි 150කට ආසන්න සංඛ්‍යාවක් පුවත්පත් වලට රචනා කර ඇත. නමුත් ප්රශ්නය වන්නේ එදා සිට අද දක්වා වන අලි මරණ, ඝාතන සම්බන්ධයෙන් ‘එකම කරුණ’ සාකච්ඡාවට ලක්වීමය. විද්‍යාඥයින් විසින් වන අලි මරණ සම්බන්ධයෙන් නව විසඳුම් ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාවට නැගීමක් සිදු නොවන පසුබිමක මාධ්‍යවේදීන් ලෙස අපට එකම කරුණ ගැන දිගින් දිගටම ලිවීමට සිදුවී තිබේ. මෙය නීරස වාර්තාකරණයක් බවට මේ වන විට පත්ව තිබේ. උදාහරණයක් ලෙස පසුගිය වසරේ භාතිය ඇතා ඝාතනය කිරීම ගැන ලිවීමට සිදු වූ අතර මේ වසරේ කාවන්තිස්ස ඇතා ඝාතනය කිරීම ගැන ලිවීමට සිදුවිය. නමුත් ලිවීමට ඇත්තේ එකම කරුණක් ගැනම පමණය. එය නීරස අත්දැකීමකි.
- ප්‍රතිපත්තිමය උත්සාහයන්
මෙහි දී අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට ගන්නා ලද ප්‍රතිපත්තිමය උත්සාහයන් ගැන ද යම් අවධානයක් යොමු කළ හැකිය.
ලංකාවේ මේ සම්බන්ධයෙන් ගත් මුල්ම ප්‍රතිපත්තිමය තීන්දුව / නීතිමය පියවර ලෙස වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත (1937 අංක 2) (Fauna and Flora Protection Ordinance (No. 2 of 1937) සැලකිය හැකිය. මෙම නීතිය යාවත්කාලීන විය යුතු බවට පොදු මතයක් පවතී.
අලි – මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් 2006 දී ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කර ඇත. මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ආදි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙම ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර ඇති අතර මෙය වඩාත් සාර්ථක උපාය මාර්ගික සැලසුමක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
මෙහිදී වැදගත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුය. ලංකාවේ වන අලි ගහනයෙන් 70%ක් වාසය කරන්නේ වනාන්තර හෝ රක්ෂිත ලෙස නම් කර ඇති ප්‍රදේශවලින් පිටතය. එනිසා රක්ෂිත හෝ වනාන්තර වටා විදුලි වැට ඉදිකිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකිය. අවස්ථා ගණනාවක දී සිදුකරන ලද වන අලි එලවීමේ මෙහෙයුම් අසාර්ථක වූයේ මේ හේතුව මතය.

2020 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුගයේ දී ද විශේෂ කමිටුවක් හරහා අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට විසඳුම් සොයා ගැනීමේ ප්රයත්නයක් දරන ලද අතර මේ කමිටුවට ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු, ආචාර්ය සුමිත් පිලපිටිය ආදී විද්වතුන්ගේ සහභාගීත්වය ලැබුණේය. ඔවුන් විසින් National Action Plan for Mitigation of Human – Elephant Confilict – 2020 December නම් වාර්තාව සම්පාදනය කරන ලද්දේය.
වර්තමානය වන විට ද වන අලි – මිනිස් ගැටුම කළමනාකරණය වෙනුවෙන් කෙටුම්පත් කරන ලද ප්‍රධාන උපාය මාර්ගික සැලසුම ලෙස මෙම වාර්තාව පවතී. වන අලි – මිනිස් ගැටුම කළමනාකරණයට මෙම උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙළ ලෙස බොහෝ දෙනෙකු සලකති.
- විකල්ප යෝජනා
කාවන්තිස්ස ඇතාගේ ඝාතනයෙන් පසු තවත් විකල්ප විසඳුම් යෝජනා ද ඉදිරිපත් වෙමින් තිබේ. කාවන්තිස්ස වැනි ඇතුන්ට හමුදා ආරක්ෂාව ලබාදී ඔවුන් සුරක්ෂිත කළ යුතු බවට ද යෝජනාවක් ඉදිරිපත් වී ඇත. මේ යෝජනාව වෙනුවෙන් පෙනී සිටින පිරිස් පෙන්වා දෙන්නේ අප්‍රිකාවේ ඇතැම් ඇතුන්ට මෙවැනි ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.
නමුත් ප්රශ්නය පවතින්නේ වෙනත් තැනකය. අප්‍රිකාවේ අලි ගැවසෙන තණබිම් වල ස්වභාවය සහ ලංකාවේ වන අලි ගැවසෙන වන බිම්වල ස්වභාවය හාස්පසින්ම වෙනස්ය. අප්‍රිකානු ඇතුන් රක්ෂිත ප්‍රදේශවල ජීවත් වන අතර ඇත්දැළ ජාවාරම බහුලව සිදුවේ. නමුත් ලංකාවේ තත්ත්වය ඊට වෙනස්ය. උදාහරණයක් ලෙස කාවන්තිසස්ම ගත හැකිය. ඔහු බොහෝ විට ගමන් කරන්නේ මිනිස් ජනාවාස හරහා වන අතර මාර්ග හරහා බොහෝ විට මාරු වේ. අනෙක් අතට හමුදා ආරක්ෂාව ලබා දුන්න ද බඳින තුවක්කු ආදියෙන් සිදුවන අනතුරු පාලනය කිරීම දුෂ්කර විය හැකිය.
එනිසා ලංකාවේ අලි – මිනිස් ගැටුම අවම කිරීමට විද්‍යාත්මක විසඳුම්වලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර ඒවා ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතුය. කේවල විසඳුම් වලින් මෙම ගැටලුවට තිරසාර විසඳුමක් සෙවීම අසීරුය. මෙහි දී වන අලි මෙන්ම ගම්වැසියන් ද ආරක්ෂා වන විසඳුමක් වෙත යොමු විය යුතුය.
එසේම අලි වැට ආදි විසඳුම් වෙත යන්නේ නම් අදාළ ගම්මාන ආරක්ෂා වන පරිදි අලි වැට ඉදිකළ යුතුය. එසේම වගා කන්න අනුව වගා බිම් වටා ජංගම විදුලි වැටවල් ගැසීම ද ප්‍රායෝගික පියවරක් ලෙස සැලකිය හැකිය. වගා කන්නය අවසන් වූ පසු විදුලි වැට ඉවත් කළ හැකි අතර වගා බිමේ බෝග අවශේෂ වන අලින්ගේ ආහාරයට ලබා දිය හැකිය. මෙවැනි ප්‍රායෝගික හා විද්‍යාත්මක විසඳුම් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් කාවන්තිස්සලාගේ පරපුරේ අනාගතය සුරක්ෂිත කළ හැකිය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 296 වැනි කතිකාවේ දී (කාවන්තිස්සලාගේ පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීම) පරිසර මාධ්‍යවේදී මාලක රොද්‍රිගෝ විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි. මෙම කතිකාව මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් මෙහෙයවන ලදි.
සටහන – තුෂාල් විතානගේ














