මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳ ආයතනවලට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම්

මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳ ආයතනවලට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම් 200කට ආසන්න සංඛ්‍යාවක සිදු කළ බවත් එම වැටලීම්වලදී භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති උල්ලංඝනය කිරීම් රැසක් අනාවරණය වූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 ඔක්තෝබර් 20 සිට 24 දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් ආවරණය කරමින් ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම් සහ වෙළෙඳපොළ විමර්ශන වැඩසටහනේදී භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වැටලීම් 200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවායේ මිල ගණන් පැහැදිලිව දැනගැනීමට අවස්ථාව සැලසීම, වෙළෙඳපොළේ මිල විනිවිදභාවය තහවුරු කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීම මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.

මෙහිදී සහල්, සීනි, පරිප්පු, එළවළු, පලතුරු, තිරිඟු පිටි, බේකරි නිෂ්පාදන, කෙටි ආහාර, රෙදිපිළි, විදුලි උපකරණ, ජංගම දුරකථන උපාංග සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පරීක්ෂාවට ලක් කෙරිණි. ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, අම්පාර, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, මොනරාගල, ත්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව ඇතුළු දිස්ත්‍රික්ක රැසකින් නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇත.

විශේෂයෙන්ම සහල්, සීනි, පරිප්පු, එළවළු සහ පලතුරු වැනි එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීමේ සිද්ධි රැසක් අනාවරණය වී ඇති අතර, එම සිද්ධි සම්බන්ධයෙන් අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ. ඇතැම් සිද්ධි සඳහා මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට දින නියම කර ඇති බව දිස්ත්‍රික් කාර්යාල වාර්තා කර ඇත.

මෙම වැඩසටහනට සමගාමීව තිරිඟු පිටි අලෙවිය, වෙළෙඳපොළේ තොග තත්ත්වය, මිල ප්‍රදර්ශනය කිරීම සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපැදීම සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක කර ඇත. එහිදී මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වෙනත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

මිල ප්‍රදර්ශනය කිරීම වෙළෙඳුන්ගේ නීතිමය වගකීමකි. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 26(1) වගන්තිය අනුව, භාණ්ඩය මත හෝ එහි ඇසුරුම මත නීතියට අනුකූලව මිල සඳහන් කර නොමැති අවස්ථාවලදී අදාළ භාණ්ඩවල මිල ගණන් වෙළෙඳ ආයතනය තුළ පාරිභෝගිකයන්ට පැහැදිලිව දැකගත හැකි පරිදි ප්‍රදර්ශනය කිරීම වෙළෙඳුන්ගේ වගකීමකි.

භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවායේ මිල දැනගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීම සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු වෙළෙඳපොළක් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින් මිල ප්‍රදර්ශනය කිරීම ඇතුළු පාරිභෝගික ආරක්ෂණ නීති නිසි පරිදි පිළිපදින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳ ප්‍රජාවට අවධාරණය කරයි.

භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම හෝ වෙනත් අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website