අනතුරට පත් වන අලි ඇතුන් බේරාගැනීමට වනජීවී නිලධාරීන්ගේ සහයට ආරක්ෂක හමුදා එක්වෙයි

දිවයින පුරා පාරිසරික සමතුලිතතාව රැකගන්නා ප්‍රමුඛ සාධකයක් වන වන අලි සංරක්ෂණය කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශ ඒකාබද්ධ වූ විශේෂ මෙහෙයුමක් අද (22) දින ආරම්භ වූ බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පැවසුවේය.

පරිසර අමාත්‍යාංශය කළ විශේෂ ඉල්ලීමකට අනුව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයට කඩිනමින් ක්ෂේත්‍රගත කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

ක්ෂේත්‍ර මෙහෙයුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පරිසර අමාත්‍යවරයා පහත සඳහන් කරුණු හෙළි කළේය.

අනුරාධපුරය (රඹෑව – වේවැල්කැටිය) – පිහිඹියගොල්ලෑව වසමේ වේවැල්කැටිය ගම්මානයේ අනතුරට ලක්ව සිටි ඇත් පැටවා වනජීවී නිලධාරීන් විසින් ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේදී මූලික ප්‍රතිකාර හා සෞඛ්‍ය පරීක්ෂණ සිදුකෙරේ. සත්ත්වයාගේ පූර්ණ සුවය උදෙසා අනතුරුව උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කිරීමට නියමිතයි.

පොළොන්නරුව (ගල්ලෑල්ල – මානික්කම්පට්ටිය) – ආපදාවට ලක්ව සිටින බවට වාර්තා වූ අවුරුදු 7ක් පමණ වන ඇත් පැටවාගේ ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා වනජීවී කණ්ඩායම් සමඟ ආරක්ෂක අංශ මේ වන විටත් සෝදිසි හා නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටී.

අම්පාර (සමන්තුරේ) – දෙමළ කොටස 04 ග්‍රාම සේවා වසමෙන් වාර්තා වූ අලි පැටවාගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ක්ෂේත්‍ර ප්‍රවේශය පහසු කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු මෙහෙයුම් සහයෝගය ලබාදෙමින් පවතී.

ජෛව විවිධත්වය සුරැකීමත්, සංවේදී කලාපවල මිනිස්-අලි ගැටුම් අවම කිරීමත් අරමුණු කරගනිමින්, අනතුරට පත්වන වනජීවීන් ක්ෂණිකව බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ ආරක්ෂක අංශ එක්ව අඛණ්ඩ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ඉදිරියටත් ක්‍රියාත්මක කරනු ඇති බව ද පරිසර අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website