ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරක සිසුහු එක් වෙති

පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධය ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ‘Vision’ අධ්‍යාපනික වැඩසටහනට පාසල් හතරක සිසු සිසුවියෝ අද (22) එක් වූහ.

ඒ අනුව, මතුගම අතලේ මහා විද්‍යාලය, කළුතර වේලාපුර නවෝද්‍යා මහා විද්‍යාලය, අරණායක රිවිසඳ මධ්‍ය විද්‍යාලය සහ සමන්තුරෙයි සායින්දමරුදු සම්ස් මහා විද්‍යාලය නියෝජනය කරමින් සිසු සිසුවියෝ මෙම වැඩසටහනට සහභාගි වූහ.

මෙහිදී සිසු සිසුවියන් සමග අදහස් හුවමාරු කරගත් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ජීවිතයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය. එමෙන්ම, අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාමටත්, තම වගකීම් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමටත් සිසුන් තුළ ආකල්ප වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ මහජන සුබසාධනය වෙනුවෙන් එම අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන සේවාවන් පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් සිසු සිසුවියන් දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහනට එක් වූ පාසල් සඳහා සිහිවටන ලෙස වටිනා පැළ ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

අදාළ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website