දකුණු පළාත් සභාවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සමාලෝචනය කිරීමේදී රාජ්ය ආයතනවලට අදාළ දීමනා ලබාදීම, චක්රලේඛ නිසි පරිදි ක්රියාත්මක නොවීම, ප්රසම්පාදන ක්රියාවලියේ අක්රමිකතා සහ යන්ත්රෝපකරණ වෙන්දේසි කිරීමේදී සිදුවූ මූල්ය අලාභ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමු විය.
2023.03.24 දිනැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී ලබාදී තිබු නිර්දේශ සම්බන්ධයෙන් පසු විපරමක් සහ 2021-2023 වර්ෂවල විගණකාධිපති ත්රෛවාර්ෂික වාර්තාව, 2024 හා 2025 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතුව තිබූ ඇස්ෆෝල්ට් නිෂ්පාදන යන්ත්රය 2021 වසරේදී වෙන්දේසි කිරීමේදී සිදුවූ බව කියන අක්රමිකතා සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේය. 2013 වසරේදී අධිකාරිය වෙත පවරා දී තිබූ මෙම යන්ත්රය, 2018 වසරෙන් පසු මහා පරිමාණ මාර්ග කාපට් කිරීමේ ව්යාපෘති නොමැති වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව නිලධාරීහු පෙන්වා දුන්හ. යන්ත්රය අක්රියව තබා ගැනීමෙන් නඩත්තු හා ආරක්ෂණ වියදම් දැරීමට සිදුවීම ද එය වෙන්දේසි කිරීමට බලපෑ හේතුවක් ලෙස සඳහන් විය.
කෙසේ වෙතත්, යන්ත්රය වෙන්දේසි කිරීමේදී එහි ඉතිරිව තිබූ තාර ලීටර් 21,782ක් සහ ඩීසල් තොගය නිසි පරිදි තක්සේරු කර වෙන්දේසි වටිනාකමට ඇතුළත් නොකිරීම හේතුවෙන් මූල්ය අලාභයක් සිදුවී ඇති බව මෙහිදී සාකච්ඡා විය. මෙම අලාභයට අදාළව ගැනුම්කරුගෙන් මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ ක්රියාමාර්ග ගෙන ඇති අතර, පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ සිදුකර නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්රියාමාර්ග ගෙන තිබුණද, අලාභය අදාළ නිලධාරීන්ගෙන් අය කර ගැනීම මෙතෙක් සිදුව නොමැති බව ද සාකච්ඡා කෙරිණි. අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින්, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය කර සැබෑ වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා නැවත පූර්ණ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
මීට අමතරව, දකුණු පළාත් සභාව යටතේ ක්රියාත්මක වූ ප්රසම්පාදන ක්රියාවලියේදී මතුවූ ගැටලු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. පැළ සැපයීම සඳහා සිදුකළ ප්රසම්පාදනයකදී එකම සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුම් කිහිපයකට එළඹීම, අත්තිකාරම් මුදල් ගෙවා තිබියදී නියමිත සැපයුම් සම්පූර්ණ නොවීම සහ අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ඉඩමක් පවරා ගැනීමට ගත් ක්රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
එසේම, නිසි අවශ්යතා ඇගයීමකින් හෝ ශක්යතා අධ්යයනයකින් තොරව රුපියල් මිලියන 27ක පමණ වියදමින් ස්කෑනර් යන්ත්ර 86ක් මිලදී ගැනීම සහ ඒවායින් බහුතරයක් අපේක්ෂිත කාර්යයන් සඳහා භාවිතයට නොගැනීම පිළිබඳව ද සාකච්ඡා විය. අදාළ මෘදුකාංග ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් ඩිජිටල්කරණ කටයුතු අතරමඟ ඇනහිටීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
තවද, රාජ්ය ආයතනවල නිලධාරීන්ට ඉන්ධන සහ නිවාස දීමනා ලබාදීමේදී අදාළ චක්රලේඛ හා මූල්ය රෙගුලාසි නිසි පරිදි අනුගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන් ද කරුණු විමසා බැලුණි.
රාජ්ය මුදල් සහ දේපළ භාවිතයේදී විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, අනාවරණය වූ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකර, වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන අදාළ නීතිමය හා විනය ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාව පිළිබඳව අවධානය යොමු කළේය.












