කාවන්තිස්ස නිරික්ෂණයට පරිසර ඇමති එක්වෙයි – කඩිනම් පියවර රැසක්

රෝගාතුරව සිටින කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ඉදිරි ප්‍රතිකාර කටයුතු විධිමත් කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත විය.

මෙහිදී ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය, දැනට ක්‍රියාත්මක ප්‍රතිකාර සැලැස්ම සහ ඉදිරියේදී ගත යුතු වෛද්‍යමය ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

  • විශේෂඥ දැනුම ඒකාබද්ධ කළ ප්‍රතිකාර සැලැස්මක්

කාවන්තිස්ස ඇතා සඳහා සකස් කර ඇති ප්‍රතිකාර සැලැස්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, සත්වෝද්‍යානවල දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ පේරාදෙණිය පශු වෛද්‍ය පීටයේ මහාචාර්යවරුන් ඇතුළු විශේෂඥයන්ගේ දායකත්වයෙන් සකස් කර ඇති සැලැස්මකි.

එම ප්‍රතිකාර සැලැස්ම අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබූ අතර, ඇතාගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළ ඉදිරි පියවර සහ අවශ්‍ය අමතර වෛද්‍ය සහාය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

තවද, අවශ්‍යතාව මත සත්වෝද්‍යානවල සේවය කරන පශු වෛද්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමටත්, අදාළ සියලු ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

  • රාත්‍රී හැසිරීම් නිරීක්ෂණයට නවීන තාක්ෂණය

කාවන්තිස්ස ඇතාගේ රාත්‍රී කාලයේ හැසිරීම් රටාව, ගමන් කරන ආකාරය, ජලය පානය කිරීම සහ අනෙකුත් ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

ඒ අනුව, රාත්‍රී කාලයේදී ද ඇතාගේ හැසිරීම් නිරීක්ෂණය කළ හැකි වන පරිදි තමල් (thermal drone) තාක්ෂණයෙන් සමන්විත ඩ්‍රෝන කැමරා ලබාගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට අමාත්‍යවරයා මැදිහත් විය.

මෙම නිරීක්ෂණ මඟින් ඇතාගේ රාත්‍රී ක්‍රියාකාරකම් පිළිබඳ වඩාත් පැහැදිලි තොරතුරු ලබාගැනීමටත්, එම තොරතුරු පශු වෛද්‍ය කණ්ඩායමට ඉදිරි ප්‍රතිකාර තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් කරගැනීමටත් අපේක්ෂා කෙරේ.

  • හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා විශේෂ සූදානමක්

ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේ වෙනස් වුවහොත් හෝ කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක විය හැකි හදිසි ප්‍රතිචාර සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් හා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට උපදෙස් ලබා දී තිබේ. හදිසි අවස්ථාවකදී අවශ්‍ය සහාය ලබාදිය හැකි සාමාජිකයන් 25 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සූදානම් කර තැබීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම, ඇතාගේ ආරක්ෂාවට සහ ප්‍රතිකාර කටයුතුවලට අවශ්‍ය විය හැකි විශේෂ උපකරණ, ආරක්ෂිත පටි, එසවීමේ හෝ ප්‍රවාහන සහාය සඳහා යොදාගත හැකි යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් පහසුකම් කල්තියා සූදානම් කර තැබීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන ලදී.

අවශ්‍යතාව මත බැකෝ යන්ත්‍ර, බූම් ට්‍රක් රථ හෝ වෙනත් සුදුසු යන්ත්‍රෝපකරණ යොදාගැනීමේ හැකියාව ද සලකා බැලීමට නියමිතය. මෙහි අරමුණ වන්නේ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ වුවහොත් හෝ හදිසි ප්‍රතිකාර සඳහා ස්ථානගත කිරීමක් අවශ්‍ය වුවහොත්, වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව කඩිනමින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය සූදානම පවත්වාගෙන යාමයි.

  • දෛනික සම්බන්ධීකරණය සහ අඛණ්ඩ අධීක්ෂණය

කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා දෛනිකව Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා දිනපතා පැවැත්වෙන අතර එය එසේම පවත්වාගෙන යාමට ද අවධානය යොමු කර ඇත.

එම සාකච්ඡාවලදී අදාළ පශු වෛද්‍යවරුන් සහ නිලධාරීන් සමඟ ඇතාගේ වර්තමාන තත්ත්වය, ප්‍රතිකාරවල ප්‍රගතිය, ඉදිරි වෛද්‍ය සැලසුම් සහ අවශ්‍ය අමතර පහසුකම් පිළිබඳව සාකච්ඡා කරමින් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, හොඳම ප්‍රතිඵලය අපේක්ෂා කරන අතරම, ඇතිවිය හැකි බරපතළම තත්ත්වයට ද කල්තියා සූදානම් විය යුතු බවයි.

කාවන්තිස්ස ඇතාගේ ජීවිතය සහ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු සාධාරණ ක්‍රියාමාර්ග ගනිමින්, විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර හා නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි මූලික අරමුණ වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website