බන්ධනාගාර ගත කළ භික්ෂුවක් එළියට වැඩම කිරීමේදී චීවරය දරා සිටීමට අවසර – අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර

බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේ දී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත්, අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා අද (14) මෙම කරුණු හෙළි කළේය.

මෙහි දී මාධ්‍ය වෙත තව දුටත් කරුණු පැහැදිලි කරමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය, “පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් බන්ධනාගාර ගත කිරීමේ දී ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් 2026/10/08 වැනි දින ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා සමඟ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණා. ඒ සාකච්ඡාවකට මමත්, බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇමතිතුමත් සම්බන්ධ වුණා.

එහිදී සාකච්ඡා වූ කරුණු අනුව බන්ධනාගාර ආඥාපනත, එහි පනවා ඇති රෙගුලාසි යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කළ යුතු බවට තීරණය වුණා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති, රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට  කමිටුවක් පත් කළා.

එම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට පොරොන්දු වූයේ සති දෙකක් ඇතුළත ගැටලුව විසඳීමට පියවර ගන්නා බවයි.  ඒ අනුව එම කමිටුව විසින් අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා. එහි පිටපතක් මා වෙත ද ජනාධිපති ලේකම්වරයාගෙන් ලැබී තිබෙනවා.

එම අතුරු වාර්තාවේ නිර්දේශ අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කොට, 356(අ) යනුවෙන් කොටසකුත්, දෙපාර්තමේන්තු නියෝග 550 සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයකුත් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරිකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කිරීමේ දී එම සිරකරු එතෙක් ඇද සිටි ස්වකීය සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට  දින 10ක් ලබා දීලා තිබෙනවා.

එසේම යම් හෙයකින් වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවෙකු වුණොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කර ගත යුතු වෙනවා.  එමෙන්ම නිත්‍ය නියෝග 550ට අලුතෙන් කොටසක් එක් වී එයට සංශෝධනයක් එක් වෙනවා. ඒ අනුව  බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් බැහැර කරන අවස්ථාවක, වඩාත් පැහැදිලි කරන්නේ නම් ස්වාමීන් වහන්සේ නමක් යම් කරුණකට බන්ධනාගාරයෙන් එළියට වැඩම කරන්නේ නම්  එවන් අවස්ථාවක චීවරය පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා. ඒ අවසර දිගටම පවතිනවා. ස්වාමීන් වහන්සේ අයත් නිකායෙන් හෝ පාර්ශ්වයෙන් එසේ නොකරන ලෙසට දැනුම් දීමක් ලැබෙන තෙක් ඒ අයිතිය ඔහුට තිබෙනවා.

මෙන්න මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ සම්බන්ධයෙන් මා විසින් ලිපියක් වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත යවා තිබෙනවා. ඒ අනුව දැනට බලාත්මක ඒ නිත්‍ය නියෝග සංශෝධනය කොට අතුරු වාර්තාවේ නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස මා ඔහුට උපදෙස් ලබා දී තිබෙනවා” අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website