බාල ඖෂධ මිල දී ගැනීමේ නඩුවට අදාළව 2026 මාර්තු 27 වන දින ශ්රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා සංවිධානය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුත්ත මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න මහතා සහ ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර නම්කර ඇත.
ඖෂධ මිල දී ගැනීමේදී සිදුවූ අක්රමිකතාවක් තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් රුපියල් මිලියන 75ක් ද, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුත්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර රුපියල් මිලියන 50 බැගින් ද රජය වෙත වන්දි ගෙවිය යුතු බවට ශ්රේෂ්ඨාධිකරණය ඉකුත් මාර්තු මස 27 වන දා තීන්දුවක් ලබා දී තිබුණ බව සඳහන් කරන පෙත්සම්කරු, වගඋත්තරකරුවන් මෙම තීන්දුවට අනුව කටයුතු නොකිරීම තුළින් ඔවුන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
ඒ අනුව අධිකරණ නියෝග ක්රියාත්මක කිරීම පැහැර කරනු ලැබූ අදාළ වග උත්තරකරුවන්ට එරෙහිව 2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස කිරීම පිළිබඳ පනත සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105(3) ව්යවස්ථාව යටතේ සුදුසු නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.














