සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා රාමඤ්ඤ මහනිකායේ සහ අමරපුර මහානිකායේ මහනාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දෙනු ලැබීය.
ඒ අනුව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේගේ සහ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමිපාණන් වහන්සේගේ අදාළ සංදේශය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි විසින් 30 වනදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා වෙත භාර දෙන ලදී.
මීට අමතරව හින්දු ප්‍රජාව වෙනුවෙන් හින්දු පූජක සංගමයේ සභාපති සහ සමස්ත ලංකා හින්දු සංස්කෘතික සභාවේ සභාපති ආචාර්ය සිවාශ්‍රී කේ.වී.කේ. වෛතීස්වර කුරුක්කල්තුමා විසින් ද සංදේශයක්ද පිළිගැන්වීය.
පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි, පූජ්‍ය වේපතයිර ධම්මසිරි හිමි, හින්දු පූජක සංගමයේ සාමාජික සිවශ්‍රී කුගතාස කුරුක්කල්තුමා ඇතුළු නීතිඥ තනුජා නවරත්න සහ සමාජ ක්‍රියාකාරී ආර්.ඒ්. අමිල සංජීව යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.













