සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද එම  අනුකාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.

ලෝක බැංකුවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ පාසල්වල සිදු කර ඇති කාර්යයන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු අනුකාරක සභාව දැනුවත් කළහ. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇති කාර්යයන් තවදුරටත් කඩිනම් කිරීමේ අවශ්‍යතාව අනුකාරක සභාව අවධාරණය කළ අතර, වැඩසටහනේ ප්‍රගතිය ඇතුළත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලැබිණි.

පාසල්වල පවතින සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් සම්බන්ධ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන්ම පානීය ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් අනු කාරක සභාව විසින්  අවධාරණය කරන ලදී.

එමෙන්ම, පාසල් සඳහා විදුලි සංදේශ පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ආදර්ශ ප්‍රාථමික පාසල් ස්ථාපිත කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද අනුකාරක සභාව විසින් දීර්ඝ වශයෙන් විමසා බැලිණි.

මෙම  රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්.එම්. සමන්ත රණසිංහ මහතා සහ පද්මසිරි බණ්ඩාර මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website