සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දෙනු ලැබීය.
ඒ අනුව, අදාළ සංදේශය ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංගමයේ මහ ලේකම් ආචාර්ය ශිව ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙන ලදී.
සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම මේ වන විටත් සිදු කරමින් පවතින බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
















