සියඹලන්ගමුව කාවන්තිස්ස ඇතාට අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර – හදිසි තත්ත්වයකටත් සූදානම්

සියඹලන්ගමුව ‘කාවන්තිස්ස’ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් අද (25) දිනයේත් ඇතාට  අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදුකරමින් සිටින බව පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතා ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේදී වෛද්‍ය පුබුදු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ඇතාට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සහ වේදනා නාශක ප්‍රතිකාර ලබාදී ඇති අතර, අද දිනයේදී ද වෛද්‍ය ඉසුරු ප්‍රමුඛ වනජීවී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ.

වර්ෂාව ඇතුළු දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුව ද, කාවන්තිස්ස ඇතාගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේය.

අවශ්‍ය හදිසි ප්‍රතිකාර හෝ වෙනත් වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ නිලධාරීන් සූදානමින් තබා ගන්නා ලෙස අමාත්‍යවරයා පශු වෛද්‍ය අධ්‍යක්ෂක ගංගා මහත්මියට උපදෙස් ලබා දී ඇත.

ඇතාගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර, අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට කටයුතු කරමින් සිටින බව ද පරිසර අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website