දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී රජය අනුගමනය කළ වැඩපිළිවෙළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කළේය.
ඉදිරියේ දී එල්නීනෝ ලානීනා තත්ත්වයේ ද දරුණු බලපෑම් එල්ල විය හැකි බවට අනාවැකි පළ වන නිසා මේ සම්බන්ධයෙන් රජයට ඇති වැඩපිළිවෙළ ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කළේය. රජය සතුව මේ සම්බන්ධ යාවත්කාලීන දත්ත පැවතිය යුතු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
2025 නොවැම්බර් මස මෙරටට බලපෑම් දිට්වා සුළි කුණාටුව නිසා ජීවිත හානි, ජනතාව අවතැන් වීම සේම නිවාස වාරිමාර්ග කෘෂිකර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසකට දැඩි හානි සිදුවිය. රජයේ පශ්චාත් ආපදා තක්සේරුව අනුව එහි භෞතික හානිය රු. බි. 618.1ක් සහ ආර්ථික පාඩුව රු. බි. 416ක් හා රට නැවත යථා තත්ත්වයට ගෙන ඒමට සහ වඩාත් ඔරොත්තු දෙන ආකාරයෙන් නැවත ගොඩනැගීමට අවශ්‍ය මුදල රු. බි. 1022.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව මුළු වියදම රු. බි. 2056ක් පමණ වේ. ලෝක බැංකුව සිදු කළ මූලික තක්සේරුව අනුව 2025.12.17 දිනට දිට්වා නිසා සිදුවූ හානිය ඇ. ඩො. බි. 4.1ක් වේ. 2026 මාර්තු මස සිදු කළ ආපදා පසු අවශ්‍යතා තක්සේරුව මගින් රු. බි. 618ක දේපල හානි සහ රු. බි. 416ක ආර්ථික පාඩු ද රු. බි. 1022ක නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සහ වඩාත් ඔරොත්තු දෙන ආකාරයෙන් නැවත ගොඩනැගීම යන කරුණු මත පදනම් වූ තක්සේරු වාර්තා ඇස්තමේන්තු කර තිබේ.












