ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියා, දැනුම සහ මානව ප්රාග්ධනය සංවර්ධනය කරමින් ආයෝජකයන් සඳහා අවස්ථා නිර්මාණය කරන දිගුකාලීන හවුල්කාරීත්වයක් ගොඩනැගීමයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සැප්තැම්බර් 23 වන දින කොළඹ දී පැවති ගෝලීය ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ සමුළුවට (Global CIO Forum) සහභාගී වෙමින් මෙම අදහස් පළ කළා ය.
සැප්තැම්බර් 22 සිට 24 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව මගින් රජයන්, තාක්ෂණික ව්‍යාපාර ක්ෂේත්රයේ සහ ඩිජිටල් පරිවර්තනය හා සම්බන්ධ ප්‍රධාන පෙළ තොරතුරු තාක්ෂණික නිලධාරීන් (CIOs) සමඟ කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, ක්ලවුඩ් තාක්ෂණයන්, තිරසර නවෝත්පාදනය සහ ඩිජිටල් නායකත්වයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් අවස්ථාවක් නිර්මාණය කරයි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඩිජිටල් පරිවර්තනය ශ්‍රී ලංකාව සඳහා හුදෙක් තාක්ෂණික න්‍යාය පත්‍රයක් නොවන අතර, එය රටේ පුළුල් ආර්ථික හා සමාජ පරිවර්තනයේ අත්‍යවශ්‍ය අංගයක් බව සඳහන් කළා ය.
එමෙන්ම වඩාත් ඵලදායී, කාර්යක්ෂම සහ සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජය දරන ප්රයත්නයන්වල ප්‍රධාන ඉලක්කයක් ලෙස ඩිජිටල් පරිවර්තනය තබා ඇති බවත්, අනාගත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා ගනු ලබන ප්‍රධාන පියවරක් ලෙස තාක්ෂණය හඳුනා ගනිමින් ඩිජිටල් අපනයන ක්ෂේත්රයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා සංවර්ධනය කිරීමේ ඉලක්කයක් පවතින බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,“ඩිජිටල් පරිවර්තනය පොදු ජන පහසුව සඳහා ක්‍රියාත්මක කළ යුතුයි. තාක්ෂණය හරහා ජනතාවගේ ජීවිත වැඩිදියුණු කළ යුතුයි. ඒ වගේම අවස්ථා සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, පොදු සේවා ශක්තිමත් කිරීම, ආර්ථික සහභාගීත්වයට සහාය වීම සහ තාක්ෂණික ප්රගතියේ ප්රතිලාභ පුළුල් ලෙස බෙදා ගැනීම සහතික කළ යුතුයි.
අපගේ අරමුණ හුදෙක් ආයෝජන ආකර්ෂණය කර ගැනීම පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියාවන්, දැනුම් සහ මානව ප්රාග්ධනය සංවර්ධනය කරමින් ආයෝජකයන් සඳහා අවස්ථා නිර්මාණය කරන දිගුකාලීන හවුල්කාරීත්වයන් ගොඩනැගීම අපේ ප්‍රධාන අරමුණයි.
මෙහිදී ඩිජිටල් ක්ෂේත්රයේ පවතින බෙදීම් පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. පුද්ගලයෙකුට ඩිජිටල් උපකරණ භාවිත කිරීම සඳහා හෝ, ඩිජිටල් කුසලතා සහ සේවා ලබා ගැනීම සඳහා ඔහු හෝ ඇය ජීවත් වන ස්ථානය, ඔහුගේ හෝ ඇයගේ ආදායම, භාෂාව හෝ ස්ත්‍රී පුරුෂභාවය ගැටලුවක් නොවන අවකාශයක් අපි තහවුරු කළ යුතුයි. කාන්තාවන් මෙන්ම ගැහැණු ළමයින්ට ඩිජිටල් තාක්ෂණයන් වෙත ප්‍රවේශ වීමටත්, ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමටත්, ඩිජිටල් ආර්ථිකයට පූර්ණ වශයෙන් සහභාගී වීමටත් අවස්ථාව සැලසිය යුතුයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ගොඩ නැගී ඇති ඩිජිටල් පරතරය වසා දැමීම හුදෙක් ප්‍රවේශය පිළිබඳ කරුණක් නොවෙයි, තාක්ෂණය නිර්මාණය කිරීම, භාවිත කිරීම සහ පාලනය කිරීම සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය සහතික කිරීම ද ඊට ඇතුළත් වනවා.
තාක්ෂණය ජනතාව වෙනුවෙන් ජනතාවගේ යහපත සඳහා පවතින දෙයක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, එමගින් තරුණයන් සඳහා අවස්ථා නිර්මාණය කිරීම, ව්‍යාපාර ශක්තිමත් කිරීම, පොදු සේවා වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදනය දියුණු කරමින් තාක්ෂණය හරහා සියලු දෙනා ඇතුළත් හා තිරසර අනාගතයක් ගොඩනැගෙන බවට සහතික කිරීම සිදු විය යුතු බවද සඳහන් කළාය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ නියෝජිතයන්, රජයන්, ව්‍යාපාර සහ සමාජයන්හි ඩිජිටල් පරිවර්තනය හැඩගස්වන ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරීන් සහ තාක්ෂණික නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.











