ජනාධිපති අරමුදල මෙපමණ කාලයක් භාවිතා වුණේ දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට පහසුකම් සැපයීමට බවත් එය ජනතාවගේ අරමුදලක් බවට පත් කළේ වත්මන් රජය බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ තුන්වන වැඩසටහනේ දීය.
මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී පසුගිය දා (12) පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කෙරුණු අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කර තිබේ.
මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය, “මෙම අවස්ථාව නැගෙනහිර පළාතට පමණක් නොව මුළු රටටම වැදගත් අවස්ථාවක් බව මම විශ්වාස කරනවා. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විශ්වවිද්‍යාලවල සිටින විශේෂත්වයක් සහිත දරුවන්ට මෙවැනි ප්‍රදානයක් කිරීමට තීරණය කිරීම ගැන මම පුදුම වන්නේ නැහැ. ඒක අයිතියක්. ජනාධිපති අරමුදල මෙපමණ කාලයක් භාවිතා වුණේ දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට පහසුකම් සැපයීමටයි. එය ජනතාවගේ අරමුදලක් බවට පත් කළේ අපේ රජයයි. විවිධ දුෂ්කරතා හමුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අය අතරේ ආබාධ සහිත දරුවෙකුට රුපියල් ලක්ෂයක් ලැබෙනවා කියන්නේ එය විශාල සහනයක්. ඒ නිසා කිසිවෙකු අත්නොහැරෙන යන පදනම යටතේ ජනාධිපති අරමුදල මේ ආරම්භ කළ වැඩපිළිවෙළ මුළු ශිෂ්‍ය පරපුරේම ආදරයට, ගෞරවයට ලක් වන තීරණයක්”.













