කල් ඉකුත් වූ ආලේපන සහ මිල සඳහන් නොකළ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් රු. 230,000ක දඩයක්

කල් ඉකුත් වූ ආලේපන අලෙවිය සඳහා තබා ගැනීම, සටහන් කර තිබූ උපරිම සිල්ලර මිල මකාදමා වැඩි මිලක් සඳහන් කරමින් වෛද්‍ය උපකරණ බෙදාහැරීම සහ නීත්‍යානුකූලව උපරිම සිල්ලර මිල සඳහන් නොකළ ඖෂධ තොග බෙදාහැරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.

2026.08.05 දින බණ්ඩාරවෙල, ඇටම්පිටිය පාරේ පිහිටි ප්‍රභාහරන් ඒජන්සීස් ආයතනයේ සිදුකළ වැටලීමේදී කල් ඉකුත් වූ Aquasoft ලෝෂන් ඇසුරුම් 24ක්, සටහන් කර තිබූ මිල මකාදමා නව මිලක් සඳහන් කළ Dyna අස්ථි හා සන්ධි ආධාරක (Orthopedic Braces) 97ක්, මිල වෙනස් කිරීම සඳහා භාවිත කළ උපකරණ/ටැග් සහ උපරිම සිල්ලර මිල සඳහන් නොකළ ඖෂධ ඇසුරුම් 1,180කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී.

අධිකරණය හමුවේ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව, ගරු අධිකරණය විසින් හේමාස් සර්ජිකල්ස් ඇන්ඩ් ඩයග්නෝස්ටික්ස් පුද්ගලික සමාගමට රු.100,000/-ක්, හේමාස් ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමට රු.100,000/-ක් සහ ප්‍රභාහරන් ඒජන්සීස් ආයතනයට රු.30,000/-ක් වශයෙන් දඩ නියම කරන ලදී.

සමස්ත දඩ මුදල රු.230,000/-කි. තවද, නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද ඖෂධ, වෛද්‍ය උපකරණ සහ ආලේපන ඇතුළු භාණ්ඩ 1,300කට අධික සම්පූර්ණ තොගය විනාශ කිරීමට ද ගරු මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

ඖෂධ, ආලේපන හෝ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වීමේ දිනය, සඳහන් කර ඇති මිල සහ අනෙකුත් අදාළ තොරතුරු පරීක්ෂා කරන්න. පාරිභෝගිකයන් නොමඟ යවන අයුරින් මිල වෙනස් කරන, කල් ඉකුත් වූ හෝ නියමිත තොරතුරු රහිත භාණ්ඩ අලෙවි කරන ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website