
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන් සහ වනජීවී නිලධාරීන්ට ඇතිවන තාප පීඩනය සැලකිල්ලට ගනිමින්, යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප සැප්තැම්බර් 14 වන දින සිට තාවකාලිකව වසා දමන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා ප්‍රකාශ කළේය.
අද (07) පෙරවරුවේ විකාශනය වූ අද දෙරණ ‘BIG FOCUS’ වැඩසටහනට අදහස් දක්වමින් මේ බව හෙළි කළ මංජුල අමරරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, පවතින උණුසුම් කාලගුණික තත්ත්වයන් ජල හිඟය සහ තාප පීඩනය යන දෙකම හේතුවෙන් සතුන්ට දැඩි ලෙස බලපා ඇති බවයි.
විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට ප්‍රදේශවල තත්ත්වය ද නිලධාරීන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව අමරරත්න මහතා පැවසීය.
අවශ්‍ය විටෙක අදාළ ජාතික වනෝද්‍යාන වසා දැමීමට හෝ සතුන් සහ වනජීවී නිලධාරීන් යන දෙපාර්ශ්වයටම තාප පීඩනයෙන් අහිතකර ලෙස බලපාන්නේ නැතිව කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බව ද මංජුල අමරරත්න මහතා සඳහන් කළේය.













