ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති කැනේඩියානු කාන්තාවක් ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රීය චාරිත්‍රයක කොටසක් ලෙස වීඩියෝ ඇමතුම් අතරතුර නිරුවතින් පෙනී සිටීමට පොළඹවා (රහසිගතව ඇමතුම් පටිගත කර)පසුව එම දර්ශන භාවිතා කරමින් මුදල් කප්පම් ගෙන ඇයගෙන් ලිංගිකව හැසිරීමට බල කළ බවට චෝදනා එල්ල වූ දෛවඥයෙකු චෙන්නායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ කුර්තලම්හිදී 45 හැවිරිදි ඉසක්කි මුතු නැමති පුද්ගයෙකි. ඔහුගේ ජංගම දුරකථනය සොයා ගැනීමට නිලධාරීන් සමත් විය. පොලිසිය ඔහුගේ දුරකථනය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ හා සමාන ආකාරයකින් වෙනත් කාන්තාවන් ඉලක්ක කර ගෙන තිබේ ද යන්න පිළිබඳව විමර්ශනය කරමින් සිටී.
37 හැවිරිදි මෙම කාන්තාව මීට මාස කිහිපයකට පෙර තමිල්නාඩුවට ගොස් චෙන්නායි හි නැවතී සිටියාය.
පොලිසිය පැවසුවේ ඇය මුතු මහතා මුණගැසුණේ බෙසන්ට් නගර් වෙරළට ගිය අවස්ථාවේදී බවයි. එහිදී ඔහු ‘කිලි ජෝසියර්’ හෙවත් ගිරවුන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෙකු ලෙස සේවය කළේය. කිලි ජෝසියර් යනු සාම්ප්‍රදායික පේන කීමේ ක්‍රමයක් වන අතර එහිදී පුහුණුව ලත් ගිරවෙකු කාඩ්පත් තෝරා ගනුදෙනුකරුවන්ට අර්ථකථනය කරනු ලැබේ.
ඔවුන්ගේ සංවාදය අතරතුර, සැකකරු කාන්තාවගේ දික්කසාදය සහ ඇගේ මවගේ පිළිකාව ඇතුළු ඇගේ පෞද්ගලික ජීවිතයේ විස්තර සඳහන් කළේය. එම තත්වයන් පිළිබඳ ඔහුගේ පැහැදිලි දැනුම ඇයව පුදුමයට පත් කළ අතර ඇයගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට උපකාරී වූ බව පොලිසිය පැවසීය.
ඇයගේ කේන්දර සටහන අහිතකර ග්‍රහ පිහිටීමක් පෙන්නුම් කරන බවත් ඇය සෙනසුරුගේ බලපෑමෙන් පෙළෙන බවත් ඔහු ඇයට පැවසූ බව කියැවේ. විශේෂ චාරිත්‍රයක් සිදු නොකළහොත් ඇයට ඇගේ මවට මෙන් පිළිකාවක් වැළඳිය හැකි බවට ඔහු අනතුරු ඇඟවූ අතර, ඒ සඳහා ඔහු මුලින් ඉන්දියානු රුපියල් 20,000ක් පමණ ඉල්ලා සිටියේය.
පසුව සැකකරු වීඩියෝ ඇමතුමක් අතරතුර කාන්තාවට මධ්‍යම රාත්‍රියේ ඇගේ කාමරයේ නිරුවතින් සිට ගෙන සිටින ලෙස උපදෙස් දුන් බවත්, ජ්‍යොතිෂමය පීඩාව ඉවත් කිරීම සඳහා යාගයක් හෙවත් ගිනි චාරිත්‍රයක් පවත්වන බවත් ඇයට පැවසූ බවත් පොලිසිය පැවසීය.
ඔහුව විශ්වාස කළ කාන්තාව ඔහුගේ උපදෙස් පිළිපැද ඇත. පොලිසිය පැවසුවේ ඇයට එවැනි වීඩියෝ ඇමතුම්වලට පස් වතාවකට වඩා සහභාගී වීමට බල කර ඇති බවයි.
ඔහු රහසිගතව මෙම ඇමතුම් පටිගත කළ බවත්, රුපියල් 500,000ක් නොගෙවන්නේ නම් එම දර්ශන අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කරන බවට පසුව ඔහු අදාළ කාන්තාවට තර්ජනය කර ඇති බවත් පොලිසිය පැවසුවේය.
වීඩියෝ නිකුත් වේ යැයි බියෙන් කාන්තාව ඔහුට රුපියල් 70,000ක් පමණ ගෙවා ඇති බව පොලිසිය පවසයි.
බ්ලැක්මේල් කිරීම පසුව උත්සන්න විය. පොලිසිය පැවසුවේ සැකකරු කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීමට පටිගත කිරීම් භාවිතා කළ බවත්, ඒ හේතුවෙන් ඇය චෙන්නායි හි මාම්බලම් කාන්තා පොලිස් ස්ථානයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කළ බවත්ය.
විමර්ශකයින් කාන්තාව සම්බන්ධ කර ගැනීමට ඔහු භාවිතා කළ ජංගම දුරකථන අංකය සොයා ගත් අතර, ඇය මුදල් මාරු කළ ගූගල් පේ ගිණුමට සම්බන්ධ කර තිබූ අංකය පරීක්ෂා කළහ.
කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල වෙසෙන ජනතාව ධනවත් ලෙස සලකන වංචාකරුවන්ගේ ඉලක්ක බවට ඇති බව තමිල්නාඩු පොලිසිය පැවසුවේය. තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් නිතර නිතර මේ ආකාරයේ පීඩාවන්ට පත්වන බව විමර්ශනය පිළිබඳව හුරුපුරුදු පොලිස් මූලාශ්‍රයක් පැවසීය.
උපුටා ගැනීම -jaffnamonitor.com














