එල් නීනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම් අද (04) දින සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (04) දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

එල් නීනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම් 2026.09.04 සිට
හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය පොළොන්නරුව සහ මොණරාගල ආදී දිස්ත්‍රික්කවල පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් වී බඩ ඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන්ට හානි සිදු විය.
ඒ අනුව සිදුවූ වගා හානි පිළිබඳ ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් කඩිනමින් ක්ෂේත්‍රයට ගොස් වගා හානි පරීක්ෂා කිරීම සිදුකර හානි වූ වගා බිම් ප්‍රමාණය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම්වලට නිදහස් කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ගොවීන් සඳහා අද දින රක්ෂණ වන්දි මුදල් අදාල බැංකු ගිණුම් වලට බැර කිරීමට කටයුතු සලසා ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්කයන්හි සියලුම ගොවීන් හට මෙම මස 15 දිනට පෙර වගා හානි වන්දි ගෙවීමට කටයුතු යොදා ඇත.
මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රු. මිලියන 3000 ක පමණ ප්‍රමාණයක් රජය විසින් මේ වනවිටත් වෙන්කර ඇත.
මේ වන විටත් මෙම නියඟ තත්ත්වය හේතුවෙන් විපතට පත් ගොවීන් සංඛ්‍යාව 7500ට ආසන්න වන අතර හානි වූ බිම් ප්‍රමාණය අක්කර 8000 ක් පමණ වේ.
මෙහිදී හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්ථාපල්, සෝයා සහ මිරිස් යන භෝග 06 සඳහා හෙක්ටයාර 01ක් සඳහා රු.100,000/- ක මුදලක් ලෙස උපරිම අක්කර 05ක් සඳහා වන්දි මුදල් ලබාදීම සිදුකරනු ලබයි.
මෙලෙස හානියට පත් වගාවන් සඳහා මීළඟ කන්නයට පෙර කඩිනමින් වන්දි මුදල් නිදහස් කර ගොවීන් සඳහා සහන සැලසීම රජයේ අරමුණ වන අතර ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යතුමා විසින්, මෙම තත්ත්වය යටතේ හානියට පත් වගාවන්ට කඩිනමින් වන්දි ගෙවන ලෙස උපදෙස් ලබා දී ඇත.















