
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
විශ්වීය අගයකින් යුත් සාහිත්‍යමය නිර්මාණයක් බවට මානව චර්යාවන්හි ස්වාභාවික පෙළඹවීම් රචනා කිරීම, ගැඹුරු කලාත්මක මෙහෙයුමකි. එය විවිධ පුද්ගලයින් අතර අදහස් හා අත්දැකීම් හුවමාරු කිරීමටත්, විවිධ ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතා පිළිබඳ සංවාදයක් ගොඩනැගීමටත් දායක වන ප්‍රබල මාධ්‍යයක් ලෙස හඳුන්වා දිය හැකි වේ.
එවන් මාධ්‍යයක අගය ඉස්මතු කරන රාජ්‍ය සාහිත්‍ය උළෙල, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල, ගොඩගේ සම්මාන ප්රදානය, සහ ආසියානු සාහිත්‍ය උළෙල ආදී විවිධ සම්මාන උළෙල පිළිබඳව අදහස් උදහස්, විවිධ ස්ථානයන්හි මෙරට පාඨක සහෘද ප්‍රජාව අතර සංවාදයට බඳුන්වන අයුරු අපට දැකගත හැකි වේ. මේ සියල්ල අතර සාහිතකාමී ප්‍රජාව වෙනුවෙන් 1999 වසරේ සිට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලේඛකයින්, පරිවර්තකයින්, ප්‍රකාශකයින්, පිටකවර නිර්මාණකරුවන් සහ පාඨකයින් එකම අවකාශයකදී හමුවන දැවැන්ත සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකිය හැකි ය. මෙම වපසරිය සාහිත්‍ය කෘති හා අනෙකුත් පොත්පත් අලෙවි කිරීමෙන් ඔබ්බට ගිය බුද්ධිමය සංවාදයක් ගොඩනඟන ඉසව්වකි.
මේ අතර 2024 වසරේ සිට fu rg සාහිත්‍ය ඇගයුම් උළෙල අතරට එක් වූ විදර්ශන සාහිත්‍ය ත්‍යාග ප්රදානය ද පාඨක සමාජයේ පුළුල් අවධානයට පාත්රවී තිබේ. එමගින් තම නිර්මාණ දැනටමත් එළිදක්වා ඇති සාහිත්‍යකරුවන්ගේ මෙන් ම නවක ලේඛක ලේඛිකාවන්ගේ, උසස් රසවින්දයකින් යුතු නිර්මාණ ඇගයීමකට ලක්කිරීම ද විශේෂත්වයකි. විද්‍යුත් රූප හා සුහුරු සන්නිවේදන මාධ්‍යයේ ආගමනයත් සමග ම පොතපතින් ඈත් වූ මෙරට පාඨක ප්‍රජාව යළි ඒ වෙත ළං කරලීමට මෙකී ව්‍යායාම සියල්ල ම පාහේ ප්‍රමාණාත්මක ලෙස දායක වී තිබීම ම, සතුටුදායක කරුණකි. එවන් වාතාවරණයක් යටතේ ආසියානු කලාපය තුළ තම අනන්‍යතාව සොයා යන ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ අනාගත ගමන්මග පිළිබඳව ද අපගේ අවධානය යොමුකිරීම කාලෝචිත යැයි හැඟේ.
ආසියානු සාහිත්‍ය ප්‍රවණතාව
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආසියානු සාහිත්‍යයේ වපසරිය ගැන සිතන මෙරට බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ සෝව්යට් සමූහාණ්ඩුවේ හෝ ඉන්දියානු ලේඛකයින්ගේ කෘති පමණි. එහෙත් ඉන් බැහැරව චීනය, ජපානය, දකුණු කොරියාව, ඉරානය, මියැන්මාරය සහ වියට්නාමය වැනි අනෙකුත් ආසියානු රටවල ලේඛකයන් ද සිය අතිවිශිෂ්ට නිර්මාණ පාඨකයා හමුවේ තබා ඇති බව දැන කියා ගත් පිරිස අතලොස්සකි. සාම්ප්‍රදායික ජනශ්රැති, ජීවිත යථාර්ථයන් සහ විවිධ විෂමතාවයන් ග්‍රහණය කරමින් ලියැවුණු එකී සමකාලීන ආසියානු සාහිත්‍ය කෘති ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමත් සමග අද වන විට ගෝලීය වශයෙන් ඉහළ ජනප්‍රියතාවක් දිනාගෙන තිබේ. ඒ අනුව නැගෙනහිර, දකුණු සහ මධ්‍යම ආසියාව පුරා විසිරී සිටින ලේඛකයින්ගේ කෘති, ජාත්‍යන්තර සාහිත්‍ය ප්රවාහයට අනුක්රමයෙන් එක් කිරීමේ ප්‍රවණතාවයක් ගම්‍ය වේ. විශේෂයෙන් ම වර්තමාන ඩිජිටල් තාක්ෂණය හමුවේ වුවද, ස්වදේශීය සංස්කෘතික අංග ලක්ෂණ මනා ලෙස මුසුකරමින්, ගෝලීය ප්රවණතා සමග තම අනන්‍යතාව රැකගෙන සාහිත්‍යය කටයුතුවල නිරතවීමට ආසියානු ලේඛකයින් සමත්ව සිටීම ද වැදගත් ලක්ෂණයකි.
ලෝක සාහිත්‍යයේ ආසියානු සලකුණ
ආසියානු සාහිත්‍යයේ ගෝලීය ජනප්‍රියතාව යනු හුදෙක් මෑත කාලයේ ඇති වූ ක්ෂණික ප්‍රවණතාවක් නොව, අතීතයේ සිට පැවත එන දිගු කාලීන විකාශනයක ප්රතිඵලයකි. 11 වැනි සියවසේ මුරසාකි ෂිකිබුගේ The Tale of Genji සහ 18 වැනි සියවසේ චාඕ ෂු එචින්ගේ Dream of the Red Chamber වැනි කෘති ආසියානු සාහිත්‍යයේ වැදගත් සම්භාව්‍ය නිර්මාණ ලෙස සැලකිය හැකි ය. එම සම්භාව්‍ය උරුමය පසුකාලීනව ජාත්‍යන්තර අවධානයට ද ලක් වූ අතර, 1913 දී ඉන්දියානු ලේඛක රබීන්ද්‍රනාත් තාගෝර් සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගැනීම එහි සුවිශේෂී සන්ධිස්ථානයක් විය. ඉන් අනතුරුව ජපානයේ යසුනාරි කවාබතා (1968) සහ කෙන්සබුරෝ ඕයි (1994) නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගැනීමත්, 1979 දී Hear the Wind Sing කෘතියෙන් සාහිත්‍යයට පිවිසි හරුකි මුරකාමි සහ 1988 දී Kitchen කෘතියෙන් සාහිත්‍ය ලෝකයට පැමිණි මොහොකෝ (බනානා) යොෂිමොටෝ වැනි ජපන් ලේඛකයන්ගේ නිර්මාණ ගෝලීය පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය වීමත් සමඟ ආසියානු සාහිත්‍යයේ ජාත්‍යන්තර ප්‍රවේශය තවදුරටත් පුළුල් විය. එමෙන්ම චීනයේ මෝ යාන් 2012 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගැනීමත්, 2016 දී දකුණු කොරියාවේ හන් කංගේ The Vegetarian කෘතියේ Deborah Smith විසින් සිදුකළ ඉංග්‍රීසි පරිවර්තනයට Booker International Prize හිමිවීමත් ලෝක සාහිත්‍යය තුළ ආසියානු හඬ වඩාත් ප්රබලව ඔප්නැංවූ සුවිශේෂී අවස්ථා ලෙස දැක්විය හැකි ය. ඒ ඔස්සේ ආසියානු ලේඛකයින්හට ජාත්‍යන්තර තලයේ හිමි වූ පිළිගැනීම ද ක්‍රමයෙන් වර්ධනය විය.
මෙකී සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධානතම සාධකය වන්නේ එකී ලේඛකයන් තම සංස්කෘතික අනන්‍යතාව අත්නොහැරීමයි. තමන්ගේම ඉතිහාසය, සමාජීය පසුබිම සහ මානව සබඳතා පිළිබඳ ආත්මීය අත්දැකීම් විශ්වීය තේමාවන් බවට පත්කරමින් ගෝලීය පාඨක හදවත් දිනාගැනීමටත්, සිය භාවමය ප්රකාශනයන් විශ්ව සාහිත්‍යයේ වැදගත් සලකුණක් ලෙස සනිටුහන් කිරීමටත් ඔවුහු සමත් වී සිටිති.
ආසියානු සාහිත්‍යයේ ගෝලීය ප්‍රවේශය
ඒ කෙසේ වුවද, ගෝලීය ප්‍රවාහය තුළ ආසියානු සාහිත්‍ය නිර්මාණ වර්තමානය වනවිට මෙතරම් ජනප්‍රිය වීමට බලපා ඇති ප්‍රධාන හේතු කිහිපයක් දැක ගතහැකි වේ. ලෝකයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ පාඨකයින් වෙනත් රටවල අලුත් ලේඛකයින්ගේ පොත් කියවීමටත්, තමන්ගේ කියවීම් රටාවන් විවිධාංගීකරණය කිරීමටත්, ස්වයං අධ්‍යාපනය ලබා ගැනීමටත් වැඩි වශයෙන් පෙළඹී සිටීම එහි පළමු වැන්නයි. සමාජ මාධ්‍යවලින් තොර සන්සුන් ජීවිතයක් සඳහා වන හෘදයාංගම පෙළඹවීම පසුබිම් කරගත් ජපන් සහ කොරියානු පොත් (Cozy Reads) කෙරෙහි පාඨකයින් දැඩි ලෙස ආකර්ෂණය වීම දෙවැන්නයි. සැබෑ ලෝකයේ පවතින ආතතියෙන් මිදී සැනසිලිදායක අත්දැකීමක් ලබාදෙමින් පාඨකයන්ට සතුට හා සැනසීම ගෙන දීමට ඒවා සමත්වීම තෙවැනි හේතුකාරක යයි. මේ නිසා පාඨකයින් එම නිර්මාණවලට යොමුවීමේ නැඹුරුව ඉහළ ගොස් තිබේ.
මෙම ප්‍රවණතාවල ප්‍රතිඵලයක් ලෙස, පසුගිය කාලසීමාව තුළ දකුණු කොරියානු සහ ඉන්දියානු සාහිත්‍ය කෘති සඳහා ගෝලීය වශයෙන් විශාල ඉල්ලුමක් නිර්මාණය විය. දීප්ති කපූර්ගේ Age of Vice, හ්වැං බෝ-රියුම්ගේ Welcome to the Hyunam-dong Bookshop , මියේ ලී ගේ DallerGut Dream Department Store සහ බෙක් සෙහී ගේ I Want to Die but I Want to Eat Tteokbokki වැනි පොත් ඊට හොඳම නිදසුන් වේ. විශේෂයෙන්ම කොවිඩ් වසංගත සමයේදී BookTok වටා ප්‍රජාව ඒකරාශීවීමත් සමඟ බොහෝ දෙනෙකු නැවතත් කියවීමට යොමු වූ අතර, ඒ සමඟම ආසියානු සාහිත්‍යය ගෝලීය ප්රවාහයේ ඉහළටම ගමන් කළේ ය. ටොෂිකාසු කවාගුචී ගේ Before The Coffee Gets Cold නවකතාවට, මියෙකෝ කවකාමිගේ , ප්‍රබන්ධ මෙන් ම මංගා (Manga) සහ චිත්‍ර-නවකතා (Graphic Novels) ද විශාල ලෙස ජනප්‍රියවීම මෙම කාලවකවානුවේදී දැක ගන්නට ලැබේ. කොරියානු කාටූන් ශිල්පී Sanho ගේ Purgatory Funeral Cakes (Yeonokdang) නවකතාව 38 වැනි විල් අයිස්නර් කොමික් ඉන්ඩස්ට්‍රි සම්මාන උළෙලේදී එක්සත් ජනපදයේදී සංස්කරණයට පත් ආසියාවේ හොඳම කෘතියට හිමි ජාත්‍යන්තර සම්මානය (2026 ජුලි) දිනා ගැනීම ඊට හොඳ උදාහරණයකි.
මෙම ගෝලීය ප්‍රවේශය තවදුරටත් බලගන්වනු ලබන්නේ ආසියානු කලාපය පුරා පැවැත්වෙන දැවැන්ත ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සහ සාහිත්‍ය උත්සව මගිනි. ඒ අනුව ඉන්දියාවේ නවදිල්ලි ලෝක පොත් ප්‍රදර්ශනය, චෙන්නායි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, කොචින් ජාත්‍යන්තර පොත් උත්සවය මෙන්ම චීනයේ බීජිං ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහ ෂැංහායි ජාත්‍යන්තර ළමා පොත් ප්‍රදර්ශනය ආසියානු සාහිත්‍යයේ නිම්වළලු පුළුල් කරවන මධ්‍යස්ථාන බවට පත්ව තිබේ. මීට අමතරව ඉන්දුනීසියාව (ජකර්තා), තායිලන්තය (බැංකොක්) , මැලේසියාව (ක්වාලාලම්පූර්) සහ තායිවානය (තායිපේ) යන රටවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන මගින් ද ලේඛකයන්, පරිවර්තකයන් සහ ප්‍රකාශකයන් එකිනෙකා හා සම්බන්ධ කරමින් ආසියානු සාහිත්‍යයේ ගෝලීය ගමනට සපයන්නේ මහඟු පිටුබලයකි.
ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ පරිණාමය
1948 නිදහස ලැබීමෙන් පසු ව නූතන සිංහල සාහිත්‍යය වඩාත් පුළුල් වූ අතර, විශේෂයෙන් 1950-60 දශකවල නවකතා, කෙටිකතා, කවි සහ විචාර ක්ෂේත්රයන්හි දැවැන්ත වර්ධනයක් සිදු විය. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර සහ විමල් දිසානායක වැනි විද්වතුන්ගේ නිර්මාණ මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගත් බුද්ධිමය සංවාද ද මෙම සාහිත්‍යමය ප්රබෝධයට මූලික විය. පසුකාලීනව, එනම් 1970 සිට 1990 දක්වා කාලය තුළ පැවති තරුණ අසහනය, දේශපාලනික ප්රචණ්ඩත්වය, ජනවාර්ගික අර්බුදය සහ සිවිල් යුද්ධය වැනි සමාජ යථාර්ථයන් මෙරට සාහිත්‍යය තුළ තේමා විය. මීට අමතරව, එකී කාලසීමාවේදී රුසියානු හා ඉන්දියානු සාහිත්‍ය කෘති සිංහලයට පරිවර්තනය වීම ද ශ්‍රී ලාංකේය පාඨක හා ලේඛක අත්දැකීම් පරාසය තවදුරටත් පුළුල් කිරීමට හේතු කාරක වූ බව අවිවාදාත්මකයි.
2000 වසරෙන් පසු කාලයේ යුද මතකය, මානව හිමිකම්, සමාජ අසමානතාව සහ කුලවාදය වැනි තේමා නව ආඛ්‍යාන රටා මෙරට සාහිත්‍ය තුළින් නිරූපණය කෙරුණි. මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව (2007), මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං (2012) සහ නිශ්ශංක විජේමාන්නගේ හඳ පළුව තනි තරුව (2017) වැනි කෘති මඟින් නූතන සිංහල සාහිත්‍යයේ පැහැදිලි විවිධත්වයක් පෙන්නුම් කිරීම ඊට නිදසුන් සපයයි. එමෙන්ම, මෙකී ප්රවණතා වලින් බැහැරව විද්‍යා ප්‍රබන්ධ, රහස් පරීක්ෂක කතා සහ විනෝදාස්වාද කේන්ද්‍රීය ප්‍රබන්ධ සඳහා මෑත කාලයේ මෙරට තුළ විශාල පාඨක පිරිසක් ද නිර්මාණය විය. මේවා අතරින් ඇතැම් නිර්මාණ ඔස්සේ සමාජයීය යතාර්ථයන් හා මානසික කියවීම් ද පාඨකයා හමුවේ විවර කළේ ය. මේ අතර වර්තමානය වනවිට ඊ-පොත්, ශ්‍රව්‍ය පොත් සහ සමාජ මාධ්‍ය හරහා මෙරට සාහිත්‍යයට නව ඩිජිටල් අවකාශයක් ද නිර්මාණයවී තිබේ. මෙම පරිවර්තනය හමුවේ ක්ෂණික විනෝදාස්වාදය මත දීර්ඝ කෘති කියවීම යම් අභියෝගයකට ලක් වුවද, එකී තාක්ෂණික වෙනස නව පරපුරේ ලේඛකයන්ට හා පාඨකයන්ට සාහිත්‍යය සමඟ සම්බන්ධවීමට නව මාවතක් විවර කර දී තිබේ.
ගෝලීය අවකාශය
ලංකා භූමියෙන් එපිට, 2022 දී ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida කෘතිය බුකර් ත්‍යාගය දිනාගැනීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, දේශපාලනය සහ සමාජ යථාර්ථයන් පිළිබඳ සත්‍යවාදී, උසස් සාහිත්‍ය නිර්මාණ කියවීමට ලෝකයට අවශ්‍යතාවක් ඇති බවයි. ශ්‍රී ලංකාවේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතික ලේඛක රොමේෂ් ගුණසේකර, 1994 වසරේදී පළ කළ සිය පළමු නවකතාව වන Reef (රීෆ්) වෙනුවෙන්, ඉතාලියේ සිසිලි දූපතේ දී 1997 වසරේ කීර්තිමත් Premio Mondello Five Continents Asia Prize සම්මානය දිනා ගැනීමද මෙරට දේශපාලන නොසන්සුන්තාව සහ ගෘහ ජීවිතවල ගැඹුර ගවේෂණය කෙරෙහි විදෙස් පාඨකයින් දක්වන උනන්දුව කෙතරම් ද යන්න පැහැදිලි කරයි. ලේඛිකා කන්‍යා ඩි අල්මේදා විසින් රචිත “I Cleaned the ____” කෙටිකතාව වෙනුවෙන් 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගයේ සමස්ථ ජයග්‍රහණය දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වීමට භාග්‍ය උදාකර ගැනීම ද මෙරට සාහිත්‍ය කෙරෙහි මාද්වීප පහේම පාඨකයින්ගේ අවධානය යොමු කළ අවස්ථාවකි.
මෙවැනි පසුබිමක් යටතේ, ඉදිරියේදී ලාංකේය කෘති ඉංග්‍රීසියට නැංවීමට මෙන්ම ජාත්‍යන්තරයට ගෙන යාමට විශාල පිටුබලයක් ද වේ. එවැනි වාතාවරණයක් හමුවේ ශ්‍රී ලාංකේය සාහිත්‍යය සාර්ථකව ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා සිංහල-දෙමළ ද්විභාෂා පරිවර්තන ශක්තිමත් කිරීමට හා උසස් දේශීය කෘති ඉංග්‍රීසියට පරිවර්තනයකර ජාත්‍යන්තර නියෝජිතයන් වෙත යොමු කිරීමේ යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීමට දේශීය ප්‍රකාශකයින් වැරවීරිය ගත යුතුව ඇත.
ප්‍රකාශන ක්ෂේත්රයේ අභියෝග
ලේඛකයාගේ කාර්යය බොහෝ විට ලිවීම ලෙස සරලව දැක්වුවද, හොඳ සාහිත්‍ය කෘතියක් පිටුපස කියවීම, සිතීම, පර්යේෂණ කිරීම, සංස්කරණය කිරීම, ප්රකාශනය සහ ප්‍රචාරණය වැනි දීර්ඝ දාම ක්‍රියාවලියක් පවතී. කෙසේ වුවද වර්තමානය වන විට මෙරට සාහිත්‍ය ක්ෂේත්රය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ මූල්‍ය අර්බුදයයි. ආනයන සීමා හා අයබදු යටතේ කඩදාසි, මුද්‍රණ තීන්ත, විදුලි ගාස්තු සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා සාහිත්‍ය කෘතීන්හි මිල ඉහළ ගොස් තිබේ. එය පාඨකයාගේ මිලදී ගැනීමේ හැකියාව සීමා කර ඇත. ජපානය, දකුණු කොරියාව සහ වියට්නාමය වැනි නැගී එන ආසියානු රටවල් ස්වදේශීය මෙන්ම ජාත්‍යන්තර අලෙවි කටයුතු සාර්ථක කරගනිද්දී, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් මෙම ව්‍යුහාත්මක අභියෝගයට අවාසනාවන්ත ලෙස මුහුණ දී සිටින ආකාරයක් පෙන්නුම් කරයි.
මෙයින් බැහැරව, ප්‍රකාශන හිමිකම සහිත ප්‍රබන්ධ හා ප්‍රබන්ධ නොවන සාහිත්‍ය කෘති අනවසරයෙන් පිටපත් කිරීම, බෙදා හැරීම සහ විකිණීම, මෙන්ම PDF ඇතුළු අනවසර ඩිජිටල් පිටපත් කිරීම් (Piracy), හා නැවත මුද්‍රණය කිරීම, මෙරට ලේඛකයන්ගේ නිර්මාණශීලී අභිප්‍රේරණය හා හැකියාවන් සංකේතාත්මකව අඩපණ කරන්නකි. එවැනි ක්‍රියා සැබෑ ප්රකාශකයාගේ මෙන්ම ලේඛකයාගේ ද ආදායම් මාර්ග අසුරා දමයි. නිර්මාණශීලී ලේඛකයින් මෙන් ම පරිවර්තකයින් ද එම කටයුතු වෙතින් විතැන් කරවීමට එවැනි කූඨ ක්‍රියාමාර්ග හේතුකාරක වී පවතී. මෙවැනි කටයුතු යටපත්කරන හිමිකම් සහ බුද්ධිමය දේපළ ආරක්ෂා කරන සදාචාරාත්මක සමාජීය පරිසරයක් ගොඩනගා ගැනීමට අප වැර ගත යුත්තේ, දේශීය සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙනි.
කුමන තත්ත්වයක් යටතේ වුවද, මෙරට සාහිත්‍ය ක්ෂේත්රයේ වර්ධනය හා පැවැත්ම උදෙසා ජාතික පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩලය දැනටමත් ඉටුකරන ප්‍රකාශන මිලදී ගැනීඹ, සංරක්ෂණය කිරීම හා පුස්ථකාල වෙත නොමිලේ පොත් සැපයීම ආදී මෙහෙවර රැසක් ඔස්සේ ද, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙහෙයවන ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක වැනි සම්මාන හරහා කෙරෙන දිරිගැන්වීම් අපි අගය කළ යුතු වෙමු. එමෙන්ම කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවති ‘කලම්බු ලිටරරි ෆෙස්ටිවල්’ සාහිත්‍ය උළෙල ද දේශීය ලේඛක ප්‍රජාව මෙන්ම ප්රකාශකයින්හට විදෙස් ලේඛකයන් සහ විද්වතුන් සමග සහසම්බන්ධතා ගොඩනගා ගැනීමට විවර කළ මහඟු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි වේ. මෙවැනි සද්කර්තව්යයන් වෙනුවෙන් පෞද්ගලික ව්‍යවසායකයින්ගේ අනුග්‍රහය ඉදිරි වසර තුළ වැඩි වැඩියෙන් යොමුවීම සාහිත්‍යකාමී ප්‍රජාවේ ප්‍රසාදයට හේතු වනු ඇත.
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ












