2026/27 ශ්‍රී ලංකාවේ මහ කන්නය ගැන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනතුරු අඟවයි

එල් නිනෝ තත්ත්වයන් ශක්තිමත් වීම, යෙදවුම් පිරිවැය ඉහළ යාම සහ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව යන ඒකාබද්ධ බලපෑම් හේතුවෙන් ඉදිරි මහ කන්නයේ දී ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනයට බාධා ඇතිවීමේ ඉහළ අවදානමකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් පවසයි.

Asia-Pacific regional assessment (ආසියා-පැසිෆික් කලාපීය තක්සේරුව) නම් වාර්තාව ශ්‍රී ලංකාව “ඉහළ කනස්සල්ලක්” ඇති රටවල් අතරට ඇතුළත් කර ඇති අතර, දෙවන අන්තර් මෝසම් ආරම්භයත් සමඟ ඔක්තෝබර් මාසයේ සිට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවට අනතුරු අඟවයි.

වැඩිවන වර්ෂාපතනය ජලාශ නැවත පිරවීමට සහ කෘෂිකර්මාන්තය සඳහා ජල ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට උපකාරී වුව ද, මහ කන්නය තුළ අධික වර්ෂාව ගංවතුර හා ජලයෙන් යටවීමට හේතු විය හැකි අතර, වගා කටයුතු කඩාකප්පල් කර ප්‍රමාද කළ හැකි බවට වාර්තාව අනතුරු ඇඟවීය.

ඉන්ධන සහ පොහොර පිරිවැය ඉහළ යාම කෘෂිකාර්මික නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවයට ඇති බලපෑම තවත් උග්‍ර කළ හැකි බවට වාර්තාව තවදුරටත් අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකාවේ ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් මැදපෙරදිග අර්බුදයට පෙර පැවති මට්ටමට වඩා පිළිවෙළින් 44% සහ 41% කින් ඉහළ ගොස් ඇත. ආනයනික පොහොර පිරිවැය සහ ජාත්‍යන්තර තිරිඟු මිල ගණන් වල උච්චාවචනයන්ට ද ශ්‍රී ලංකාව තවමත් ගොදුරු වන බව වාර්තාව වැඩි දුරටත් පවසයි.

මෙම තක්සේරුව ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ කාන්තාවන්, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ මානුෂීය ආයතන විසින් ඒකාබද්ධව සකස් කර ඇත.

Daily mirror වාර්තාවක් ඇසුරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website