මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා මධ්‍යස්ථාන රැසක්

මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කිරීම, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කොට ඇති  මධ්‍යස්ථාන  මගින් මෙන්ම අන්තරායකර  ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින්  උතුරු පළාතේ තෝරා ගත් රෝහල්වලදී ආරම්භ කර ඇති බව ජනමාධ්‍ය  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා විසින් ඉදිරිපත් කරන ලද  ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව පැවසුවාය.

 උතුරු පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය යටතේ  කිලිනොච්චි දිස්ත්‍රික්කයේ  ධර්මපුරම් ප්‍රාදේශීය රෝහලේ  සහ  යාපනය දිස්ත්‍රික්කයේ  චාවකච්චේරි මූලික රෝහලේ  පුනරුත්ථාපන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරමින් සේවා සපයනු ලැබේ. අන්තරායකර  ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ සේවා සපයන  මධ්‍යස්ථාන  මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය රෝහලේ  සහ යාපනය දිස්ත්‍රික්කයේ ගුරුනගර් ප්‍රාදේශීය රෝහලේ පිහිටුවා ඇත.

ගුරුනගර් ප්‍රාදේශීය රෝහලේ පිහිටුවා ඇති එකී මධ්‍යස්ථානයට අවශ්‍ය පහසුකම් සැපයීම, එහි දැනට සිදු කරමින් පවතින ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු නිම වීමෙන් පසු අන්තරායකර  ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර  ඉන් අනතුරුව එම මධ්‍යස්ථානය මගින් අදාළ සේවාවන්  සැපයීමට නියමිත ය. 

AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website