හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව ගැන අල්ලස් කොමිෂමෙන් නිවේදනයක්

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කල ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු යන අය ඇතුළු තිදෙනෙකු විසින් ගොණු කළ ප්‍රතිශෝධන අයදුම්පත් ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට එරෙහිව පවතින මහාධිකරණ නඩු ඉදිරියට පවත්වා ගෙන යාමට පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියෝග කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් ගිනුමේ අද (05) ප්‍රකාශයට පත්කරන ලද මෙම වාර්තාව සම්පූර්ණයෙන් පහත පළ වේ.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කල ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු යන අය ඇතුළු තිදෙනෙකු විසින් ගොණු කළ ප්‍රතිශෝධන අයදුම්පත් ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට එරෙහිව පවතින මහාධිකරණ නඩු ඉදිරියට පවත්වා ගෙන යාමට පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියෝග කරයි.

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් රාජකාරි නොවන කටයුතු සඳහා යොදවා ඒ වෙනුවෙන් සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ මුදලින් වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් රජයට මිලියන 60 කට ආසන්න පාඩු සිදුකිරීමේ චෝදනා වලට අදාළව හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කල ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු යන අයට, එහි සභාපති ලෙස කටයුතු කල එරාජ් ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂක ලෙස කටයුතු කල කාජා මොහිදීන් මොහොමඩ් ෂාකීර් යන අයට මහාධිකරණය හමුවේ ගොනුකොට ඇති නඩු සම්බන්ධයෙන් CPA/77/2023 ඇතුළු සම්බන්ධිත ප්‍රතිශෝධන අයදුම්පත් වන CPA 130/23, CPA 131/23, CPA/118/23, CPA/ 119/23, CPA 154/23 සහ CPA/4/24 සම්බන්ධයෙන් තීන්දුව අභියාචනාධිකරණයේ ගරු විනිසුරු පී. කුමාරත්නම් මහතා, ගරු විනිසුරු ඩී. තොටවත්ත මහතා, ගරු විනිසුරු කේ. එම්. එස්. දිසානායක මහතා , ගරු විනිසුරු කේ. පී. ඊ. ප්‍රනාන්දු මහතා සහ ගරු විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් 2026.08.04 වන දින ලබා දෙන ලදි.

මෙම නඩුවල පළමු විත්තිකරු ලෙස එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයාද, දෙවන විත්තිකරු ලෙස සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ (CWE) සභාපතිවරයාද, තෙවන විත්තිකරු ලෙස එහි වැඩබලන අධ්‍යක්ෂවරයාද නම් කර ඇති අතර ඔවුන් ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ නඩු පවරා ඇති අතර, 2022 වර්ෂයේදී කොළඹ මහාධිකරණය හමුවේ HCB/164/2022, HCB/165/2022, HCB/166/2022, HCB/167/2022 සහ HCB/168/2022 යන නඩු අංක යටතේ අධිචෝදනා ගොනු කරන ලැබීය.

මෙම නඩුවලදී විත්තිකරුවන් විසින් පූර්ණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව විමර්ශනය ආරම්භ කර ඇති බැවින් එම විමර්ශනය මුල සිට නීතිවිරෝධී බවත්, දෙවනුව, 2018 අංක 22 දරණ අල්ලස් (සංශෝධන) පනත යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීම, එම සංශෝධනයට පෙර සිදු වූ බව කියන ක්‍රියාවන් සඳහා අතීතයට බලපාන (retrospective) ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමක් වන බව සහ තවත් මුලික විරෝධතා කීපයක් මත මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීම අභියෝගයට ලක් කරන ලදී.

HCB/165/2022 නඩුවේදී මහාධිකරණය එම මූලික විරෝධතාවන් පිළිගෙන විත්තිකරුවන් නිදහස් කළ අතර, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් CPA/77/2023 ප්‍රතිශෝධන අයදුම්පත ගොනු කරන ලදී. අනෙක් නඩුවලදී මූලික විරෝධතා ප්‍රතික්ෂේප වූ බැවින්, එම නියෝගවලට එරෙහිව විත්තිකරුවන් විසින් CPA/118/2023, CPA/119/2023, CPA/154/2023, CPA/130/2023, CPA/131/2023 සහ CPA/07/2024 යන ප්‍රතිශෝධන අයදුම්පත් ගොනු කර තිබුණි.

එකම නීතිමය ගැටලු මත පදනම් වූ මෙම ප්‍රතිශෝධන අයදුම්පත් සියල්ල පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඒකාබද්ධව සලකා බැලීමෙන් අනතුරුව, අද දින ප්‍රකාශයට පත් කළ තීන්දුව මඟින් අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද CPA/77/2023 අයදුම්පතට අවසර ලබා දී, HCB/165/2022 නඩුවේ චුදිතයන් නිදහස් කරමින් මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අවලංගු කරන ලදී. එමෙන්ම විත්තිකරුවන් විසින් ගොනු කළ CPA/118/2023, CPA/119/2023, CPA/154/2023, CPA/130/2023, CPA/131/2023 සහ CPA/07/2024 යන ප්‍රතිශෝධන අයදුම්පත් සියල්ල ප්‍රතික්ෂේප කරමින්, අදාළ මහාධිකරණ නඩු ඉදිරියට පවත්වාගෙන යාමට නියෝග කරන ලදී.

පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ද CPA/77/2023 නඩුවේ පෙත්සම්කරු වන අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීති අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය පෙනී සිටින ලද අතර, ඇය සමඟ සහකාර අධ්‍යක්ෂ නීති ගයා රාජපක්ෂ මෙනවිය ද , සහකාර අධ්‍යක්ෂ නීති ශාරන්‍යා ජයරාජා මෙනවිය ද, කජලක්ෂි සිවසුබ්‍රමනියම් මෙනවිය ද, කවිනි ද සිල්වා මෙනවිය ද පෙනී සිටින ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website