කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අගෝස්තු මස 04 වන දින ප.ව. 8.00 වන තෙක් වලංගු වන පරිදි අද (03) දින ප.ව. 8.00 ට නිකුත් කරන ලද තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනය.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අදාළ මෙම නිවේදනය අද (03) පස්වරු 8.00ට නිකුත් කර ඇති අතර, හෙට (04) පස්වරු 8.00 දක්වා බලපැවැත්වේ.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, මුහුද ඉතා රළු වනු ඇති අතර ඒ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
මේ අතර, පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු වනු ඇතැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සැලකිලිමත්ව පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.












