ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා නිල කාලගුණ අනාවැකිය

වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, දිවයිනට 1000km පමණ ඊසාන දෙසින් පිහිටා ඇත. මෙම පද්ධතිය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

එම නිසා උතුරු අක්ෂාංශ 7ත් 22ත් සහ නැගෙනහිර දේශාංශ 83ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වනවිට එම ප්‍රදේශයේ ධිවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළඟ:

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website