2019 පාස්කු ඉරිදා දිනයේ කතෝලික පල්ලි කිහිපයකට සහ ප්රධාන පෙළේ හෝටලයකට එල්ල කළ ත්රස්ත ප්රහාර සඳහා කුමන්ත්රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලට නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කළ කොළඹ මහාධිකරණය අදාළ වරදකරුවන්ට බරපතළ වැඩ සහිත සිර දඬුවම් කළේය.
මහාධිකරණය දැනුම් දුන්නේ අදාළ චෝදනා එල්ල වී සිටි සෙසු විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බව යි.
විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම ඊයේ (22) රාත්රී 09.00 සිට සිදුවිය. ඒ අනුව වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් අද (23) අළුයම 2.08 බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.
එක් විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 260ක සිර දඬුවම් නියම වූ අතර විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 220 බැගින් සිර දඬුවම් ද, තවත් විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 200 බැගින් සිට දඬුවම් ද තවත් විත්තිකරුවන් සිව් දෙනෙකුට වසර 240 බැගින් සිර දඬුවම් ද ත්රිපුද්ගල මහාධිකරණය විසින් නියම කළේය.
ඊට අමතරව තීන්දුව පැනවූ අද දින සිට ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන්ට අදාළ නිශ්චල හා චංචල දේපළ සියල්ල රාජසන්තක කිරීමට ද මහාධිකරණය නියෝග කළේය.













