ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියාවලිය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සමඟ රජය ඉදිරියට යන බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජේ. එම්. විජේබණ්ඩාර මහතා පැවසීය.
මෙම යෝජනාව හරහා අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව විජේබණ්ඩාර මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සෑම පුද්ගලයෙකුටම සහ සංවිධානයකටම තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට රජය ගරු කරන බවත් ඔහු අවධාරණය කළේය.
“ව්‍යවස්ථා සංශෝධනයක් යනු සමාජය තුළ කිසිදා ඒකමතික එකඟතාවයක් නොලැබෙන දෙයක්. ඕනෑම නීතියක් හඳුන්වා දෙනු ලබන්නේ එය සමස්තයක් ලෙස සමාජයට බලපාන බැවිනි. විවිධ කණ්ඩායම් එය වෙනස් ලෙස දැකිය හැකියි. කෙසේ වෙතත්, මෙමඟින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිසේත්ම බලපෑමක් නැහැ” විජේබණ්ඩාර මහතා පැවසීය.
පසුගිය දා කොළඹට රැස් වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සංවිධාන රැසක් මේ වන විට රජයේ සැලසුමට සිය විරෝධය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් Church of Ceylon ද ඊයේ (30) විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
අධිකරණ ක්ෂේත්‍රයේ සෑම මට්ටමකම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමේ යෝජනාවක් සඳුදා (27) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර මෙම යෝජනාව යටතේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් වැඩි කෙරේ.














