ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ අනෙකුත් අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් වැඩි කිරීමේ යෝජනාව සඳහා අද (27) ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව මෙම යෝජනාවක් නීතියක් ලෙස සකස් කිරීම සඳහා නීති කෙටුම්පත්කරු වෙත යොමු කරනු ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය යටතේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වත්මන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 ලෙස නියම කර ඇති අතර නව යෝජනාව යටතේ (ව්‍යවස්ථා සංශෝධනයක් හරහා) එම වයස අවුරුදු 67 දක්වා වැඩි කිරීමට අදහස් කෙරේ.
වර්තමානයේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 61ක් වන අතර මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරුන්ගේ වත්මන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 60කි.
මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාවන් සම්බන්ධයෙන් සමාන්තර යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට ද රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.
විනිසුරුවරුන් විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගත යුතු බව නීති ක්ෂේත්රයේ ප්‍රවීනයින්ගේ මතයයි.
විපක්ෂ ඇතුළු නීතිඥ සංවිධාන රජයේ මෙම යෝජනාවට දැඩි විරෝධය පළ කර තිබේ.














