ජනපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශවල වගන්තියක් සංශෝධනය කරයි

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ එක් වගන්තියක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත‍.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඉ) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ, 2026 ජූලි 24 දිනැති අංක 2498/76 දරන අති විශේෂ ගැසට් පත්‍රය හරහා සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

ඒ අනුව 2021 නොවැම්බර් 24 දිනැති අංක 2255/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද පවතින මාර්ගෝපදේශවල මාර්ගෝපදේශ අංක 4 ගැසට් පත්‍රය අවලංගු කර ප්‍රතිස්ථාපනය කර ඇත.

අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු වශයෙන් කටයුතු කර නොමැති නම් යම් පුද්ගලයෙකු ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත් නොකළ යුතු බව නව සංශෝධන නියෝගයේ සඳහන් වේ.

මීට පෙර පැවති මාර්ගෝපදේශ මාලාවට අනුව ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීමට අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු ලෙස කටයුතු කළ යුතු වගන්තිය ඇතුළත් කර තිබූ නමුත් විශේෂිත අවස්ථාවන්හිදී සෙසු සියලුම නිර්ණායක සපුරා ඇති, වසර 15ක සේවා කාලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන් ද ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අවස්ථාව ලබාදී තිබුණි.

මේ අතර, 2026 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. සුදුසුකම් ලත් නීතිඥවරුන් 2026 අගෝස්තු 31 දින හෝ ඊට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website