නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින් නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමේදී එය මනා පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
ක්‍රීඩාව තරගයකින් එහාට ගිය දෛනික ජන ජීවිතය හා බැඳුණු ක්‍රියාකාරකමක් බවට පත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්‍රීඩා තරග පැවැත්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ අත්පත් කර ගැනීම පමණක් නොව සමස්ත සමාජය තුළ ක්‍රීඩා ප්‍රබෝධයක් ඇති වන අයුරින් ඒවා සැලසුම් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.
එමෙන්ම 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දක්ෂ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම, පුහුණු කිරීම සහ පහසුකම් සැපයීම සිදු කරමින් ජයග්‍රහණය අත්පත් කර ගැනීමට ඔවුන් සූදානම් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩා පරපුරක් රට තුළ බිහි කිරීම වෙනුවෙන් දැනුමෙන් සහ කුසලතාවෙන් පිරිපුන් දක්ෂ පුහුණුකරුවන් කණ්ඩායමක් අවශ්‍ය බවත්, ඒ සඳහා සැලසුම් සකස් කරන ලෙසත් මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ක්‍රීඩාවෙන් රට ඉදිරියට ගෙන යාමට එය අත්‍යවශ්‍ය කරුණක් බවද පැවසීය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යායතනය, සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය, උත්තේජන මර්දන නියෝජිතායතනය, ජාතික යොවුන් සේනාංකය, ජාතික තරුණ සේවා සභාව, නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය ඇතුළු ආයතන විසින් 2026 වසරේ ක්‍රියාවට නංවන ලද ව්‍යාපෘති 2027 වසරේ සැලසුම් සහ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
එමෙන්ම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති වන මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය, කිලිනොච්චිය දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය, කල්මුණේ සන්දංගනී ක්‍රිඩාංගණය ඇතුළු ක්‍රීඩා සංකීර්ණවල ඉදිකිරීම් සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සහ දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.
මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා නවීන තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් සමන්විත සුවිශේෂී “ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්” ස්ථාපිත කිරීමේ කටයුතුවල ප්‍රගතිය සහ සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.














