COPF සහ COPA වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිෂමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විවිධ ආයතන සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලට අදාළ කරුණු ඇතුළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා පිළිවෙලින් නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට යොමු කිරීම පිණිස වන තීරණ සඳහා (ජූලි 21) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. 

ඒ අනුව, විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 දින සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025.10.24 වන දින සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වාර්තාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට අදාළ තීරණයට අනුමැතිය හිමි විය.  

තවද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කාරක සභා රැස්වීම්වලදී සිදු කරන ලද විමර්ශනවලට අදාළව සභාගත කරන ලද වාර්තා මගින් හඳුනාගත් සිද්ධි පිළිබඳව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (4) ප්‍රකාරව නිසි පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට ගත් තීරණයද පාර්ලිමේන්තුව විසින් අද අනුමත කරන ලදී. 

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය. ලංකා සතොස ලිමිටඩ්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන ආයතන පිළිබඳව සිදුකරන ලද විමර්ශන වලට අදාළ කරුණු ඇතුළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කෙරෙනු ඇත.

2026.04.07 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ස්ථාවර නියෝග 119(4) සහ 120(4)ට අදාළ සංශෝධනවල විධිවිධාන ප්‍රකාරව මෙම අනුමැතිය ලබා දීම සිදුවිය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website