2026 ජූලි 7 වන දින වැලිකඩ බන්ධනාගාරයට තම නිලධාරීන්ට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බරපතල කනස්සල්ල පළ කර ඇති අතර, එය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බව ද පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍රසිරි මහතා විසින් පසුගිය 15 වැනිදා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත මගින් කොමිසමට පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක රැඳවුම් ස්ථානවලට ඇතුළු වීමට බලය පවරනු ලබන බව ද කොමිෂම අවධාරණය කර ඇත.
2026 ජූලි 14 වන දින මානව හිමිකම් කොමිසමේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී, බන්ධනාගාර නිලධාරීන් පැහැදිලි කළේ බන්ධනාගාරය තුළ ඇති අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ප්‍රවේශය ප්‍රතික්ෂේප කර ඇති බවයි. කොමිසමේ නිලධාරීන්ට මෙම තත්ත්වය දැනුම් දීමට අපොහොසත් වීම පිළිබඳව නිලධාරීන් කනගාටුව පළ කළ අතර, එවැනි සිදුවීම් නැවත ඇති නොවන බවට සහතික වූ නමුත්, ලබා දී ඇති පැහැදිලි කිරීම පිළිබඳව සෑහීමකට පත් නොවන බව කොමිසම ප්‍රකාශ කළේය.
මීගමුව බන්ධනාගාරයෙන් මාරු කරන ලද රැඳවියන්ට එරෙහිව පළිගැනීම් චෝදනා සම්බන්ධයෙන් ද කොමිසම කනස්සල්ල පළ කළ අතර, වධහිංසා පැමිණවීම, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම, රැඳවියන් සිටින ස්ථානය පිළිබඳව පවුල්වලට දැනුම් දීම ප්‍රමාද කිරීම සහ දඬුවම් අවසන් කළ සිරකරුවන් අඛණ්ඩව රඳවා තබා ගැනීම ද ඊට ඇතුළත් ය.
මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වයෙන් පසු අත්අඩංගුවේ පසුවන වධහිංසා පැමිණවීම්, අයුතු ලෙස සැලකීම් සහ මරණ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස මානව හිමිකම් කොමිෂම වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබේ. රැඳවුම් ස්ථාන වෙත මානව හිමිකම් කොමිෂමෙහි ව්‍යවස්ථාපිත ප්‍රවේශය බන්ධනාගාර බලධාරීන් වහාම හඳුනා ගෙන පහසුකම් සැලසීම, මාරු කරන ලද රැඳවියන්ට එරෙහිව පළිගැනීම් වැළැක්වීම, රැඳවියන් සිටින ස්ථානය පිළිබඳ පවුල්වලට වහාම දැනුම් දීම සහ දඬුවම් අවසන් කළ සිරකරුවන් වහාම නිදහස් කිරීම සහතික කිරීම සඳහා ද කොමිසම නිර්දේශ කර තිබේ.



















