මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට

“මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” අද (12) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල් (Kidney Stone Disease) යනු ශ්‍රී ලංකාවේ බහුලවම දැකිය හැකි රෝග තත්ත්වයන්ගෙන් එකකි. දිවයින පුරා විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ මූත්‍රා රෝග ඒකක 30කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද, ප්‍රතිකාර සඳහා පවතින ඉල්ලුම ඉතා ඉහළ තත්ත්වයක පවතී.

යටිතල පහසුකම්වල සීමාවන්, ශල්‍යාගාර අවමවීම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය මේ සඳහා ප්‍රධාන හේතු වී ඇත. වර්තමානයේ මෙරට වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහා රෝගීන් 5,000 කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බවට ඇස්තමේන්තු කර ඇත.

මෙරට වකුගඩු ආශ්‍රිත ගල් රෝගයෙන් පෙළෙන රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින අතර රෝගී ප්‍රතිකාර සේවා සහ රෝග පාලන කටයුතු සඳහා මෙම මධ්‍යස්ථානය මෙරට ජනතාවට සහ සෞඛ්‍ය සේවාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

වකුගඩු රෝගී ප්‍රතිකාර සේවාවෙි ගැටළුකාරි තත්ත්වයට විසඳුමක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් වූ යෝජනාවන් පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව වසර 20 ක් සිදු කර ගත නොහැකිව තිබූ මෙම කර්තව්‍ය මාස 03 ක් වැනි කෙටි කළක් ඇතුළත සිදු කරමින් ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLAUS) සහයෝගය සහිතව වකුගඩු ගල් රෝගීන් සඳහා විශේෂිත වූ මධ්‍යගත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමේ සංකල්පය ප්‍රවර්ධනය කිරීම මත මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කළ හැකි වූ අතර, මේ දක්වා එම මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහයෝගය ද එම සංගමය නොඅඩුව ලබාදෙනු ලැබීය.

එමෙන්ම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භයේ දී ප්‍රකට ව්‍යවසායකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා අවශ්‍ය නවීන උපකරණ සහ තාක්ෂණ පහසුකම් රැසක් ලබාදීමෙන් ද සහාය දැක්වීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website