
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
ගෝලීය දේශපාලන සිතියම සහ ආර්ථික බල තුලනය සහමුලින්ම වෙනස් කළ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය කුමක්දැයි යමෙකු ප්‍රශ්න කළහොත්, ඊට දිය හැකි එකම පිළිතුර වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය යන්නයි. අධිරාජ්‍යවාදී බලපෑම්, අභ්‍යන්තර අස්ථාවරත්වය සහ දරිද්‍රතාවයෙන් බැට කමින් සිටි චීනය තුළ සාමාජිකයන් පනස් දෙනෙකුට මඳක් වැඩි කුඩා දේශපාලන කණ්ඩායමක් ලෙස 1921 වසරේදී ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂය CPC, අද වන විට මිලියන 101.29 කට ආසන්න සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත ලොව විශාලතම පාලක දේශපාලන පක්ෂය බවට පත්ව තිබේ.
සමස්ත ලෝකයේම අවධානය චීනය වෙත නතු කරගනිමින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි අභිමානවත් සංවත්සර මහා සභාව 2026 ජූලි 01 වැනිදා බීජිං නුවර මහජන මහා ශාලාවේදී Great Hall of the People උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. පක්ෂයේ මහා ලේකම් මෙන්ම මධ්‍යම මිලිටරි කොමිසමේ සභාපති, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම ඓතිහාසික සැමරුම සඳහා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටු සාමාජිකයන් වන ලී චියෑං, ෂාඕ ලෙජී, වෑං හුනිං, කායි චී, ඩිං සුවේෂියෑං, ලී ෂී සහ උප ජනාධිපති හන් ෂෙන්ග් ඇතුළු 3000 කට අධික ප්‍රභූ පිරිසක් ඊට සහභාගී වූහ.
මෙහිදී ජනාධිපති ෂී ජින්පිං කළ ඓතිහාසික දේශනය සහ චීනය ඉදිරියේදී තබා ඇති ඉලක්ක දෙස බැලීම, වත්මන් ආර්ථික හා සමාජයීය අර්බුදවලින් ගොඩඒමට වෙහෙසෙන ශ්‍රී ලංකාව වැනි රටකට හුදු පුවත් වාර්තාවකට එහා ගිය ගැඹුරු දේශපාලන හා ආර්ථික පාඩම් මාලාවක් කියා දෙයි.
මහා වීර කාව්‍යය
සංවත්සර මහා සභාව අමතමින් ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වසරක ඉතිහාසය චීන ජාතිය විසින් ලියා තබන ලද වඩාත්ම විශිෂ්ට වීර කාව්‍යය Most Magnificent Epic වන බවයි. එහිදී ඔහු පැවසූ එක් සුවිශේෂී ප්‍රකාශයක් වූයේ, “කාලය කිසිවෙකු වෙනුවෙන් නතර නොවේ, ඉතිහාසය ද එසේමය.” යන්නයි. චීනය අතීත ජයග්‍රහණ දෙස බලා උදම් අනමින් එක තැන පල් නොවිය යුතු බවත්, නියමිත කාලසටහනට අනුව පූර්ණ නවීන සමාජවාදී රාජ්‍යයක් බවට චීනය පත් කිරීමේ දෙවන සියවස් පූර්ණ ඉලක්කය Second Centenary Goal කරා නොනැවතී ඉදිරියටම යා යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.
ගතවූ ශතවර්ෂයකට අධික කාලය තුළ චීන වැසියන්ගේ දෛවය සහ අනාගතය සහමුලින්ම වෙනස් කිරීමටත්, මාක්ස්වාදයට නව ජීවයක් දෙමින් එය චීන අනන්‍යතාවයට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමටත් එම පක්ෂය සමත් විය. 1949 දී මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ සිට අද දක්වා චීනය පැමිණි ගමන දෙස බැලීමේදී, සාමාජිකයන් සතු ගුණාංග සහ පක්ෂය නායකත්වට පණපෙවූ පුද්ගලයින්ගේ උපායමාර්ගික දැක්ම ලෝකයේ වෙනත් කිසිදු දේශපාලන බලවේගයකට සම කළ නොහැකි බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

සංවර්ධන මාදිලිය
එමගින් ගම්‍ය කරන්නේ ඕනෑම දේශපාලන ක්‍රමයක සාර්ථකත්වය රඳාපවතින්නේ එහි බිම් මට්ටමේ සිට ඉහලම පුද්ගලයා තෙක් ගොඩනගා ගන්නා ගුණාත්මක චර්යාවන් මත බවයි. එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වා දෙමින් වර්තමාන චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය අත්කරගෙන ඇති ජයග්‍රහණ ලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමක පවතින බව එරටට පය තැබූ කවරෙකු වුවද වටහාගනු ඇත. වසර පහෙන් පහට නවීකරණයවූ චීන ආර්ථික හා සංවර්ධන උපායමාර්ගික ප්‍රතිපත්ති හා එම දර්ශනය ලොව දෙවන විශාලතම ආර්ථිකය ලෙස චීනය ඔසවා තැබීමට සමත්වී තිබේ. විශේෂයෙන්ම 2022 ඔක්තෝබර් මාසයේ පැවැති 20 වැනි පක්ෂ මහා සම්මේලනයේදී හඳුන්වා දුන් “නවීකරණය සඳහා වූ චීන මාවත” Chinese path to modernization ඔස්සේ ගෝලීය ආර්ථිකයේ ප්‍රධානම නියමුවා බවට, අද වන විට චීනය පත්ව තිබෙන බව රහසක් නොවේ.
එපමණක් නොව, සමාජ සුභසාධන ක්ෂේත්‍රයෙන් ද සමස්ත ලෝකයම මවිත කරමින්, තම දේශයෙන් අන්ත දුප්පත්කම Absolute Poverty සහමුලින්ම තුරන් කිරීමට චීන රජය සමත්ව ඇත. එමෙන්ම ලොව විශාලතම අධ්‍යාපන පද්ධතිය, විශාලතම සමාජ ආරක්ෂණ පද්ධතිය සහ විශාලතම සෞඛ්‍ය පද්ධතිය ස්ථාපිත කිරීමට චීනයට හැකි වී තිබේ. එදා මෙදා තුර චීනය අනුගත සංවර්ධන සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙස චීන වැසියන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වයස අවුරුදු 79 ඉක්මවා ඉහළ නැංවීමට චීන රජය සමත් වී ඇති අතර, මෙය දියුණු වෙමින් පවතින රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්තම පිම්මකි.
ජනාධිපති ෂී ජින්පිං නිරන්තරයෙන් සිහිපත් කරන්නේ, චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම ක්‍රියා කරන්නේ “ජනතාව මුල් කරගැනීමේ” Putting People First ස්ථාවර ප්‍රතිපත්තිය මත බවත්, පක්ෂයේ මූලික අභිප්‍රාය සහ මෙහෙවර වන්නේ චීන ජනතාවට සතුට උදාකර දීම සහ චීන ජාතියේ පුනර්ජීවනය උදෙසා වෙහෙසීම බවත්ය. ඒ බව පසක් කරමින් මෙවර සංවත්සරයේදී කැපී පෙනුණු තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ පක්ෂයේ ඉහළම ගෞරව සම්මානය වන “ජූලි 1 පදක්කම” July 1st Medal විශිෂ්ටතම සේවාවක් කළ සාමාජිකයන් අට දෙනෙකු වෙත පිරිනැමීම යි. මෙය සෑම වසර පහකට වරක් තිලිණය කරන්නකි.
ඒ අනුව මෙවර සම්මාන ලැබූවන් අතර බිම් මට්ටමේ සමගි සන්ධාන මැදිහත්කරුවෙකු, ප්‍රජා සේවකයෙකු, ග්‍රාමීය වෛද්‍යවරයෙකු, කෘෂිකාර්මික විශේෂඥයෙකු, ගම්මාන පක්ෂ නිලධාරියෙකු, ප්‍රවීණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා විශේෂඥයෙකු සහ මිය ගිය ඛනිජ තෙල් පිරිපහදු ඉංජිනේරු විශේෂඥයෙකු ඇතුළත් වූහ. රතු, රන් සහ සුදු පැහැයෙන් නිමවූ, පක්ෂ ලාංඡනය සහ තරුව සහිත සරල එහෙත් අභිමානවත් මෝස්තරයකින් යුත් මෙම පදක්කම හරහා චීනය මුළු මහත් ලෝක ප්‍රජාව වෙත ප්‍රබල පණිවිඩයක් ගෙන එයි. එනම්, රටක් දියුණු කළ හැක්කේ කාර්යාලවල සිටින නිලධාරීන්ට නොව, බිම් මට්ටමේ ජනතාව සමඟ එකට ජීවත් වෙමින්, ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගෙන, කැපවීමෙන් රටට වැඩ කරන මිනිසුන්ට පමණක් බවයි.
මීට සමගාමීව, පක්ෂයේ නිල සඟරාව වන ‘කියුෂි’ Qiushi Journal හි ෂී ජින්පිං ජනාධිපතිවරයා විසින් පළකළ ලිපියක් තුළින් ද අවධාරණය කෙරුණේ ප්‍රාදේශීය County-level පක්ෂ නායකයන් සතු විය යුතු සුදුසුකම් හා ගුණධර්ම යි. රටේ නීතියට ගරු කරමින්, දූෂණයෙන් තොරව, ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් සෘජු තීරණ ගැනීමේ හැකියාව ප්‍රාදේශීය නායකයන් සතු විය යුතු බව එහිදී ඔහු පැහැදිලිව දක්වා ඇත.
දූෂණයට වැට බැඳීම
බොහෝ දේශපාලන පක්ෂ බලයට පත්ව කාලයක් යද්දී දූෂණය, නාස්තිය සහ අභ්‍යන්තර බල අරගල නිසා විනාශ වී ගියත්, චීන කොමියුනිස්ට් පක්ෂය වසර 105 ක් පුරා ජනතා ප්‍රසාදය රැකගනිමින් ශක්තිමත්ව නැගි සිටී. ජනාධිපති ෂී ජින්පිං පවසා සිටින්නේ, පක්ෂයේ පවතින “ස්වයං-ප්‍රතිසංස්කරණ” Continuous self-improvement හැකියාව සහ දූෂණයට එරෙහිව ගෙන යන දැඩි, අඛණ්ඩ සහ විස්තීර්ණ සටන Tough, protracted and all-out battle against corruption ඊට හේතුවී ඇති බවයි. පක්ෂයේ නායකයන් සැමවිටම නිහතමානී, විචක්ෂණශීලී සහ වෙහෙස මහන්සි වී වැඩ කරන පිරිසක් විය යුතු අතර, බලය සාධාරණව, නීත්‍යානුකූලව සහ අවංකව භාවිතා කළ යුතු බවට ඔහු අවධාරණයකර තිබේ. වැරදි කරන නායකයන්ට තරාතිරම නොබලා දඬුවම් දීමේ දැඩි පිළිවෙතක් චීනය තුළ ක්‍රියාත්මක වන ආකාරය ද අපට දැකගත හැකිවේ.

බහුපාර්ශ්වික පිළිවෙත
කොවිඩ් වසංගතයෙන් පසු රුසියානු-යුක්රේන යුද්ධය සහ ඇමරිකා-ඉරාන – ඊශ්‍රාලයේ නොසන්සුන්තාව හේතුවෙන් හටගත් තෙල් අර්බුදය වැනි විවිධ කැලඹීම්වලින් ලෝකය ආර්ථිකයේ පසුබෑම සමග ලෝක ප්‍රජාව පීඩා විඳින ආකාරය දැන් ඉතා පැහැදිලි වේ. සියවසක් තුල දැක නැති ගැඹුරු වෙනස්කම් Changes unseen in a century අද ලෝකය පුරා වේගයෙන් සිදුවෙමින් පවතින අතර මානව වර්ගයා නැවතත් තීරණාත්මක සන්ධිස්ථානයක් ඉදිරිපිට සිටගෙන ඉන්නා බව ජනාධිපති ෂී ජින්පිං මෙහිදී තවදුරටත් පෙන්වා දී තිබේ.
මෙවැනි වටපිටාවක චීනය සැමවිටම බහුපාර්ශ්වික සබඳතා Multilateralism සහ ගෝලීයකරණය වෙනුවෙන් පෙනී සිටින ආකාරය ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය නැංවීම සඳහා චීනය හඳුන්වා දුන් ‘එක් තීරයක් – එක් මාවතක්’ Belt and Road Initiative – BRI සහ චීන-අප්‍රිකා සහයෝගිතා සංසදය Forum on China-Africa Cooperation වැනි වැඩසටහන් ලෝක ආර්ථික පුනර්ජීවනයට විශාල දායකත්වයක් ලබාදී තිබේ. මේ ආකාරයෙන්ම ලංකාව කෙරෙහි ද චීනය දක්වන්නේ සුවිශේෂී ආකල්පයක් බව පැවසීමට හැකි වේ. රබර්-සහල් සහයෝගීතාවයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකරදීම ඔස්සේ , ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇරඹි මිතුදම ශක්තිමත් කරමින් නෙළුම් පොකුන රඟහල, සංනිවේදන හා බහු කාර්ය නෙළුම් කුලුණ, කොළඹ වරාය නගරය, හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ නව වරාය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය CICT, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා මහල් නමයක ගොඩනැගිලි සංකීර්ණය, පොළොන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු රෝහල, නොරෙච්චෝල ලක් විජය ගල්අඟුරු බලාගාරය, ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිලි සංකීර්ණය සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1996 ක විශේෂ නිවාස ව්‍යාපෘතිය වැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ද රාජ්‍ය සේවකයින් හා ලාංකික සිසුන් වෙනුවෙන් ලබාදෙන අතිමහත්වූ අධ්‍යාපනික ශිෂ්‍යත්ව හරහා දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම ආර්ථික බැඳීම ශක්තිමත්ව ඉදිරියට ගමන්කිරීම ලක්වාසීන්ට අමතක නොවනු ඇත.
කෙසේ වුවද, වර්තමානය වනවිට චීනය ලෝක බලවතෙකු වුවද, ඔවුන් තම විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන්නේ 1954 දී හඳුන්වා දුන් “සාමකාමී සහයෝගීතාවයේ පංච ප්‍රතිපත්තිය” Five Principles of Peaceful Coexistence මත පිහිටාය. මෙම ප්‍රතිපත්තිවල හරය 1955 බන්ඩුන්ග් සමුළුවේදී ද අනුමත වූ අතර, පසුව ශ්‍රී ලංකාව ද එහි ප්‍රමුඛ සාමාජිකයෙකු වූ ‘නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය’ Non-Aligned Movement බිහිවීමට මූලික ආභාෂය සැපයීය. වර්තමානය දක්වාම චීනය මෙම නොබැඳි පිළිවෙතට සහ අන්‍යෝන්‍ය ගෞරවයට දැඩිව ගරු කරනු ලබන රටකි.
තමන් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වූයේ කිසිදු රටකට එරෙහිව ආක්‍රමණශීලී යුද්ධ දියත් කරමින් හෝ විදේශීය සම්පත් කොල්ලකමින් හෝ නොවන බව චීනය ආඩම්බරයෙන් ප්‍රකාශ කරන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ඔවුන් සාමයට ආදරය කරන ජාතියක් වුවද, බාහිර බලවේග විසින් චීනයේ භූමියට හෝ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල කළහොත්, චීනය ඊට එරෙහිව නොපසුබටව නැගී සිටින බව ද ඔහු එහිදී අවධාරණය කළේ ය. විශේෂයෙන්ම තායිවාන ප්‍රශ්නය හමුවේ චීනයේ පූර්ණ ඒකාබද්ධතාවය සාක්ෂාත් කර ගැනීම පක්ෂයේ නොසැලෙන ඓතිහාසික මෙහෙවරක් බව ඔහු නැවතත් මතක් කර දී තිබේ. ඓතිහාසිකව එයට ලෝක ප්‍රජාව ගරු යුතුවන්නේ, චීනය අත්පත් කරගෙන ඇති සාර්ව සංවර්ධන දියුණුව හා භූ-දේශපාලනික හැඩතල දෙස විවෘතව බලා අවබෝධ කරගැනීමෙනි.
දැනටමත් අත්පත්කරගෙන ඇති ආර්ථික සහ සමාජයීය දියුණුවට සමගාමීව තම ජාතික ආරක්ෂාව ශක්තිමත් කරගැනීමට ද චීනය අඛණ්ඩව කටයුතු කරමින් සිටී. 2027 වසරේ දී උදාවන චීන මහජන විමුක්ති හමුදාවේ PLA සියවස් පූර්ණ සංවත්සරයට පෙර චීන සන්නද්ධ බළකායන් ලෝක උසස්ම මට්ටමේ ආරක්ෂක බලකායක් බවට පත් කිරීම මෙහිදී ඉදිරිපත් වූ ප්‍රධාන ඉලක්කයක් වේ. මීට අමතරව හොංකොං සහ මැකාවු විශේෂ පරිපාලන කලාපවල දිගුකාලීන සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට හා සමස්ත ජාතික පුනර්ජීවනයට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස චීනය සලකනු ලැබේ. චීන තරුණ තරුණියන් තමන් ජීවත් වන යුගයේ වගකීම් කරට ගෙන, ජාතික පුනර්ජීවනය උදෙසා වූ ඓතිහාසික සහයෝගීතා තරඟයේ Historic relay ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට දායක විය යුතු බවට චින ජනාධිපතිවරයා මෙම සමුළුවේදී පෙන්වා දුන්නේ එවන් උත්තරීතර ජාතියක අපේෂාවන් පිළිබඳව නව බලාපොරොත්තු සහිතවය.
ශ්‍රී ලංකාවට ගත හැකි පාඩම්
දේශපාලනික, ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් දැවැන්ත ප්‍රතිසංස්කරණ මාවතකට අවතීර්ණ වී සිටින වත්මන් ශ්‍රී ලංකාවට, චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වසරක ඓතිහාසික ගමනෙන් උගත හැකි පාඩම් සමුදාය අතිමහත්ය. ඒ අනුව, ආණ්ඩු මාරුවීම් මත වෙනස් නොවන ස්ථාවර ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීම, තරාතිරම නොබලා දූෂණය සහ නාස්තිය මුලිනුපුටා දැමීමට නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම මෙන්ම බිම් මට්ටමේ ප්‍රජාව දිරිමත් කෙරෙන ආර්ථික මාදිලියක් රට තුළ ස්ථාපිත කිරීම කාලෝචිත බව අපට අවබෝධ වේ. එමෙන්ම, චීනය සතු “වැරදි නිවැරදි කරගනිමින් කාලයට ගැළපෙන සේ වෙනස් වීමේ හැකියාව” Capacity for Adaptation සහ “කියන දේ ප්‍රායෝගිකව කර පෙන්වන” Walks The Talk දූරදර්ශී නායකත්ව ලක්ෂණ ආදර්ශයට ගනිමින්, දේශගුණික විපර්යාස ඇතුළු ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික නවෝත්පාදන සහ බහුපාර්ශ්වික සබඳතා කේන්ද්‍ර කරගත් ශක්තිමත් ව්‍යවසායකත්ව ප්‍රතිපත්තියක් මෙරට තුළ දියත් කිරීම වත්මන් යුගයේ වඩාත්ම සාධාරණ හා කාලීන අවශ්‍යතාවය බව පෙන්වා දෙමි.
( මූලාශ්‍ර තොරතුරු; China Daily, Xinhua News සහ People’s Daily වෙතිනි.)
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
















