
මෙරට බදු මුදල්වලින් වැඩිම මුදලක් වියදම් කරනු ලබන්නේ ගොවි ජනතාව වෙනුවෙන් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ගොවි ජනතාව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කර ඇති බවත් මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ ගොවීන් වෙනුවෙන් වැය කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ රජයේ ප්‍රතිපත්තිය යටතේ වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනට සමගාමීව මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම ඊයේ (02) මහමාන්කඩවල වැව් බැම්ම අසලදී ආරම්භ වූ අතර එහි පැවති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දිට්වා හානියෙන් විනාශයට පත් මහමාන්කඩවල වැව් බැම්ම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙන් කොට ඇති ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 83.20කි.
රටට බත සපයන ගොවියා පමණක් නොව, තේ කර්මාන්තයේ නිරත වන කුඩා තේ වතු හිමියාත්, ගම්මිරිස් වගා කරන ගොවියාත් රටට වැදගත් බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය,”අපේ රටේ හාල්වලට විදේශ වෙළඳපොළේ ඉල්ලුමක් නැහැ. වී ටික වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කරපු වෙලාවේ දෙන්න. ඊට වඩා මිල වැඩි වෙනකන් තියන් ඉන්න එපා. එතකොට මේ පාර වුණු දේ වෙනවා. වී මිල උච්චාවචනය වෙන එක ගැටලුවක්. අපි උත්සහ කරනවා වී මිල ස්ථාවරව තියාගන්න. පිරිවැය වැඩි වෙන කොට නිෂ්පාදන වියදම වැඩි වෙන කොට මිල ඉහළ යා යුතුයි. අපි ඒක වෙනස් කරනවා. වී මිල පුළුවන් තරම් ස්ථාවරව තියා ගෙන ඒ නිෂ්පාදනයට යන පිරිවැයට සහන දෙන්න. අපි ලොකේ යුද්ධයක් තිබුණට කිසි කර්මාන්තයක් බිඳ වැටෙන්න දුන්නේ නැහැ. තෙල් හිඟයක් ඇතිවෙන්න දුන්නේ නැහැ. අපේ පෞද්ගලික පොහොර සමාගම් රජයට ලොකු සේවයක් කළා. එයාලා ළඟ තිබුණ පොහොර ටික රජයට දුන්නා, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී ගොවියාට බෙදන්න. හැමෝම කියනවනේ පෞද්ගලික ආයතන ගසා කන්නමයි ඉන්නේ කියලා. පොහොර මිලත් ඉදිරියේදී අඩුවෙයි. අපි බලාපොරොත්තු වෙනවා අපේ ගොවි ජනතාව මීට වඩා පොදු ජනතාව ගැන හිතයි කියලා.” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
















